indian-visa-hacker-nabbed

ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ මහනුවර වීසා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වී ඉන්දියන් වීසා අධික මිල ගණන් යටතේ නිකුත් කළ සංවිධානාත්මක ජාලයක මහ මොළකරු වන දත්ත සැපයුම්කරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සමඟ එම මහා පරිමාණ වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක් සහ ස්මාර්ට් ජංගම දුරකතනයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

ඉන්දියන් වීසා බලපත්‍ර වැඩි මිලට අලෙවි වන බවට කොළඹ තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන දේශීය නියෝජිතවරියට ලැබුණු රහසිගත තොරතුරක් කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දීමෙන් අනතුරුව එහි සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ඒකක හය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය කර කර ගැනීමට හැකි වී  ඇත.



ප්‍රධාන සැකකරු වන දත්ත සැපයුම්කරුගේ දුරකතන අංකයක් ඔස්සේ ඉතා සූක්ෂම ලෙස විමර්ශන සිදුකර පොලිස් උපාය දූතයකු යොදවා ඉන්දියන් වීසා ලබා ගැනීමට අවශ්‍ය බවට සැකකරු හා දුරකතනයෙන් පොලිස් උපාය දූතයකු සම්බන්ධ වී ආවේක්ෂණ රාජකාරි සිදු කරමින්. තොරතුරු හුවමාරු කරගෙන මහනුවර වත්තේගම උත්සව ශාලාවක මංගල උත්සවයට සහභාගී වෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනය ඔහුගේ සිදු කළ ප්‍රශ්න කිරීමේ දී සොයාගත් ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

රුපියල් 8000 බැගින් ලබා දෙන වීසා බලපත්‍ර ඔහු විසින් රුපියල් 50,000ක මුදලකට බැගින් ලබා දී ඇතැයි සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.  සැකකරු මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටි ඉන්දියන් වීසා මධ්‍යස්ථානයේ තොරතුරු සඳහන් කර වෙබ් අඩවියක් නිර්මාණය කර වසර තුනක පමණ කාලයක සිට මෙම වංචාව කරගෙන ගොස් ඇතැයි එම විමර්ශනවල දී අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකරු මීට කාලයකට ඉහත දී ඉන්දියන් වීසා මධ්‍යස්ථානය ආසන්නයේ පරිගණක මධ්‍යස්ථානයක සේවය කර ඇති බව ද පොලිසිය ද කියයි.

බම්බලපිටිය තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ වීසා මධ්‍යස්ථානයට ඉකුත් පෙබරවාරි 15 වැනිදා හොර රහසේ ඇතුළු වී එහි ප්‍රධාන දේශීය නියෝජිතවරියගේ ලැප්ටොප් පරිගණකය ද සොරාගෙන ගොස් තිබිණි. එම මධ්‍යස්ථානයේ තුන්වැනි මහලේ ප්‍රධාන දේශීය නියෝජිතවරියගේ කාර්යාලය පිහිටා ඇති අතර එහි තිබූ රුපියල් ලක්ෂ 40ක මුදලක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකතනය සොරකම සඳහා පැමිණි පුද්ගලයන් රැගෙන ගොස් නොතිබීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී තිබිණි. එම මධ්‍යස්ථානයේ සහ මහනුවර වීසා මධ්‍යස්ථානයේ කිසිවකුත් මෙම මහා පරිමාණ පැවැරුමට සබන්ධ දැයි සොයා විමර්ශනය කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් විසි නව හැවිරිදි සැකකරු පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ