insurance-fraud

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ උසස් නිලධාරීන්ගේ (ඉහළ කළමනාකාරිත්වයේ) අනූ තුන්දෙනකුට වැටුප් ගෙවීමට වාර්ෂිකව රුපියල් කෝටි 70 ක් වැය කෙරෙන බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වයේ වැටුප් තල තීරණය කිරීම සඳහා මැනේජ්මන්ට් සර්විස් රක්ෂණ සමාගම නමින් ආයතනයක්  පිහිටු වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි කමිටුව එහි ප්‍රධානීන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය. මේ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අරාබි රටවල විදේශ ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමේදී තනි පාර්ශවයකින් ලංසු කැඳවා ඩොලර් 100ක වටිනාකමකට ලබාදීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් කර ඇති බවට විගණකාධිපතිවරයා තොරතුරු අනාවරණය කර ඇතැයි කෝප් කමිටුව පවසයි.



එහෙත් රක්ෂණ සංස්ථාව සතුව ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවද කමිටුවේදී තොරතුරු අනාවරණය විය.මේ සම්බන්ධයෙන් විදේශ සේවා පනියුක්ති කාර්යාංශයේ සහ රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් එකට කැඳවා කරුණු විමසීමට ද කෝප් කමිටුව තීරණය කර ඇත. ශ්‍රි  ලංකා රක්ෂණ සංස්ථාවේ කාර්යසාධනය පිළිබඳ විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 8 වැනිදා රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේ දීය.

මේ අතර විශාල මූල්‍ය පාඩුවක් ලබා ඇති හෙයින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මාලදිවයින සහ සීෂෙල්ස් ශාඛා දෙක විධිමත් ආකාරයට වසා දැමීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දීමට ද කෝප් කමිටුව තීරණය කර ඇත.  එහිදී අදහස් දැක්වූ සංස්ථාවේ මූල්‍ය නිලධාරියා පැවසූවේ එම ශාඛා දෙක දැනට ක්‍රියාත්මක නොවන හෙයින් ඒ වෙනුවෙන් මුදලක් වැය නොවන බවයි. එම ශාඛාවල තිබූ මුදල් ලංකා බැංකු ශාඛාවල තැන්පත් කළ බවද ඔහු සඳහන් කළේය.  මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය භාවිත කරන රක්ෂණ සංස්ථාවට අයත් ඉඩමකට සහ ගොඩනැගිල්ලකට අදාළ බදු  ගිවිසුම පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කමිටුව  රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.



කෝටි 79 කට වැඩි වටිනාකමින් යුත් මෙම දේපළ නැවත බාර දුන් නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය එය යළි ලබාගෙන ඇතැයිද එහිදී තොරතුරු අනාවරණය විය. එම ඉඩම භාවිතා කළ කාලය සඳහා හිඟ කුලිය කොටස් වශයෙන් ගෙවීමටත් මෙම වසරේ සිට නව ගිවිසුමකට එළඹීමටත් ජනාධිපති කාර්යාලය එකඟවූ බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය. මේ අතර සංස්ථාවේ කාර්ය මණ්ඩලය පිළිබඳවද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අවධානය යොමුවිය. එහිදී රක්ෂණ සංස්ථාවේ විධායක නිලධාරියා පැවසුවේ ස්ථිර කාර්ය මණ්ඩලයේ 2,535 දෙනකු සහ කොන්ත්‍රාත් පදනම යටතේ දෙසිය තිස්දෙදෙනකු සේවය කරන බවයි.  සංස්ථාවේ මානව සම්පත   සම්බන්ධයෙන්  විගණනයක් පවත්වා  වාර්තාවක් මාස හයකදී ඉදිරිපත් කරන ලෙස ද කෝප් කමිටුව සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දුන්නේය.

සුජිත් හේවාජුලිගේ