ipl-sri-lanka-ban

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.ඒල්.) ක්‍රිකට් තරගාවලියට සහභාගි කර නොගැනීමේ තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ මෙම රටවල් දෙකම අයි.පී.එල්. තරග වාරය සඳහා තම ක්‍රීඩකයන් නිදහස් කිරීම ප්‍රමාද වීම හේතුවෙනි. 

අයි.පී.එල්. තරග සඳහා සහභාගි වීමේදී ක්‍රිකට් ආයතන විසින් ලබාදෙන විරෝධයක් නොමැති වීමේ සහතිකය (No objection letter/ NOC) ක්‍රීඩකයන් වෙත ලබාදීම ප්‍රමාද වීම නිසා මෙලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සිය අප්‍රසාදය පළකර ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, අයි.පී.එල්. සඳහා නිදහස් කිරීමෙන් ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතන ද්විත්වයටම අදාළ දීමනාවන් ලැබෙන බැවින්, මේ සම්බන්ධයෙන් සලකා බැලීම අදාළ එම ක්‍රිකට් ආයතනයන්ට භාර බවයි. එහෙයින්  අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමේ  ගැටලුවක් ඇත්නම් ඒ සඳහාද ලියාපදිංචි නොවිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමගින් මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියට මෙන්ම  විස්සයි20 තරගාවලියද සහභාගිවී සිටීම හේතුවෙන්, මෙරට ක්‍රීඩකයන්ට අයි.පී.එල්. සඳහා සහභාගිවීමට අවස්ථාව ලැබෙන්නේ එළඹෙන අප්‍රේල් 08වැනිදායින් පසුවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, භානුක රාජපක්ෂ හා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමට නියමිතය. ම

ේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහද සිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට මූලිකත්වය ලබාදීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ හේතුවෙන්, තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් හා ලිටන් දාස්ටද මෙවර අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමට සිදුවන්නේ ප්‍රමාද වීමෙන් බව වාර්තා වේ.

අයර්ලන්ත කණ්ඩායමේ මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ තරග සංචාරයේ ටෙස්ට් තරගය  එළඹෙන අප්‍රේල් 04වැනිදා ආරම්භ වීමට නියමිතය. ෂකීබ් හා ලිටන් දාස් දෙදෙනාම ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කිරිම මීට හේතුවයි. කෙසේ වෙතත් ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වී නොමැති අයි.පී.එල්. සහභාගි වන තවත් ක්‍රීඩකයෙකු වූ මුෂ්ටෆිසූර් රෙහෙමාන්ට ගැටලුවකින් තොරව අයි.පී.එල්. තරගාවලියට සහභාගි විය හැකි බව වාර්තා වේ. මෙවර (2023) අයි.පී.එල් ක්‍රිකට් තරගාවලිය මේ මස 31වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එය එළඹෙන මැයි 28වැනිදා දක්වා පැවැත්වේ.

(ඕෂිත වරකපිටිය)