isuru-bandara-request

මහා පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාරට විදේශගත වීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (29) ප්‍රතික්ෂේප කළේය.


ඉසුරු බණ්ඩාර යන අය විදේශගත වීමට සිදු කළ ඉල්ලීම සිදු කර ඇත්තේ ඔහුගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා බවත් එම දිනය කල් ඉකුත් වී ඇති බවත් කියමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ප්‍රතික්ෂේප කළේය.
ඔහුට එරෙහිව ඇති එක් නඩුවක් සඳහා විදේශගත වීමට සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසරය ලබා දුන් අතර තවත් නඩුකරයක් කැඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වන බවට සිදු කළ දැනුම් දීමකට අනුව දෙවන ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වීමට නොහැකි වීම නිසා සැකකරුගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු ඇනහිට ඇති බවත් එහෙයින් වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට සහතික ලබා ගැනීමට අවශ්‍ය යැයිද ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.


සැකකරු විදේශගත වී නොපැමිණියහොත් නඩුවට අගතියක් වන බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ- යට දන්වා සිටි අතර එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අදාළ ලියකියවිලි ඉදිරිපත් කර නිසි පරිදි ඉල්ලීම සිදු කරන ලෙසය.
ඇප මත මුදා හැර ඇති තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරීනී තිළිණි ප්‍රියමාලි, ඇය සිදු කළ වංචාවන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇප මත මුදා හැර ඇති බොරැල්ලේ සිරි - සුමන, තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර, ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන, රන් භාණ්ඩ මුදලට ගත් බව කියන රන් භාණ්ඩ වෙළෙඳසැල හිමිකරු අලගර- ත්නම් මනෝරන්ජන් යන අයවලුන් අධිකරණයේ පෙනී සිටියේය.