kachchathivu-buddha-statue

නාවික හමුදාව කච්චතිව් තැන්පත් කර ඇති බුදුපිළිමයක් ඉවත් කරන ලෙසට ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පෙරේදා (28) විරෝධතාවක නිරත වූහ. කච්චතීව් දූපතේ තැන්පත් කර ඇති මෙම බුදුපිළිමය සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් දී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් කළ විමසුමක දී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ නාවික හමුදාව කච්චතීව් දූපතේ කිසිදු අවස්ථාවක බුදු පිළිමයක් ඉදිකර නොමැති බවයි.



ගොඩබිමේ සිට නාවික සැතපුම් 50 කට ආසන්න දුරකින් පිහිටි මිනිස් වාසයකින්  තොර කච්චතීව් දූපතේ එම ප්‍රදේශය අවට ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික අනුඛණ්ඩයක් ස්ථාපිත කර ඇති බව ද හෙතෙම කීය. ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හැරුණු කොට වසරේ අනෙකුත් සෑම දිනයකදීම මෙම අනුඛණ්ඩයේ නාවිකයන් දේවස්ථානය පිරිසුදු කරල ඉතා  භක්තියෙන් පහන් දල්වන බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම අනුඛණ්ඩයේ රාජකාරි කරන බහුතරයක් නාවිකයන් බෞද්ධාගමිකයන් වන බැවින්, ඔවුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා අනුඛණ්ඩයේ භට නිවස අසල කුඩා බුදු පිළිමයක් තැන්පත් කර ඔවුන් විසින් වන්දනාමාන කටයුතු සිදුකරනු ලබන බව ද හෙතෙම කීය. කච්චතීව් දූපතේ දේවස්ථානයට අමතරව වෙනත් කිසිදු ස්ථීර ඉදිකිරීමක් දූපතේ සිදු කළ  නොහැකි බවත් නාවික භටයන් නවාතැන් ගෙන ඇත්තේ ද තාවකාලිකව ඉදිකර ඇති භට නිවාසවල බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය හැරුණු කොට වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් මෙම කච්චතිව් දූපතේ නොමැති බවත් ඉදිරියේදී ද කිසිදු සිද්ධස්ථානයක් ඉදි කිරීමට නාවික හමුදාව කටයුතු නොකරන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.

ඉන්දිකා රාමනායක