kadugannawa-pathala

කඩුගන්නාව කදන්ගම ප්‍රදේශයේ නිවෙසක් රුපියල් 25,000 ක මුදලකට කුලියට ගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පාතාල සාමාජිකයන් බවට සැක කරන කාන්තාවන්  තිදෙනකු ඇතුළු පස්දෙනකු කඩුගන්නාව පොලීසිය විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගනු ලැබීය.



ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලබන මෙම සැකකරුවන් අදාළ නිවස රුපියල් 25000 ක මුදලකට කුලියට ගෙන ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ ජංගම දුරකතන සැකකරුවන් විසින් ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා යොදා ගෙන ඇති බවට පොලීසිය සැක කරයි. සැකකරුවන් සතුව තිබී හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5340 ක් හා රුපියල් 62800 ක මුදලක් ද පොලීසිය සොයාගෙන ඇත. නිවසේ තිබී වාහන අංක තහඩු පහක් හා වාහන තුනක යතුරු පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යාංශයේ කඩුගන්නාව ඒකකයෙන් ලද බුද්ධි තොරතුරු මත අදාළ නිවස වටලන අවස්ථාවේ සැකකරුවන්  සතුව තිබී ජංගම දුරකතන 33 ක් වෑන් රථ තුනක්, යතුරු පැදියක් හා වෙනත් වාහන නවයකට අයත් වලංගු ආදායම් බලපත්‍ර හා  රක්ෂණ සහතික පොලීසිය භාරයට ගෙන තිබේ. මෙම වාහනත්  ආදායම් බලපත්‍ර හා රක්ෂණ සහතිකත් තමන් වෙත ලැබුණු  ආකාරය ප්‍රකාශ කිරීමට සැකකරුවන් අපොහොසත් වූ බව පොලීසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් එක් කාන්තාවක රුපියල් කෝටි හයක මුදල් කොල්ලයක සැකකාරියක බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ හොරණ ප්‍රදේශයේ දී ඇති වූ වෙඩි හුවමාරුවක දී තුවාල ලැබ අන්ධ වූ පුද්ගලයෙකු ද සැකකරුවන් අතර සිටින බව පොලීසිය පවසයි. ඊට අදාළ නඩුව මේ වනවිට මීගමුව අධිකරණයේ විභාග වෙමින් ඇත. පේරාදෙණිය කම්බිඅඩිය ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන මාස නවයක කාලයක් එහි රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර මෙයට මාස හතරකට පෙර මොවුන් එම නිවසින් ඉවත්ව කඩුගන්නාව කන්දගම නිවස කුලියට ගෙන තිබෙන බව පොලිස්  පරීක්ෂණ මගින් හෙළිව ඇතැයි පොලිසිය පවසයි.

නිවස කුලියට ගැනීමට පෙර අත්තිකාරම් මුදලක් ලබා දී නිවස වටා තාප්පයක් ඉදිකරන ලෙස නිවසේ හිමිකරුට සැකකරුවන් දැනුම් දී තිබෙන බවත් මොවුන් නිවසේ වාසය කර ඇත්තේ නිතර ගෙට්ටුව සහ නිවසේ දොර අගුළු දමා බවත් පොලීසිය පවසයි. සැකකරුවන් දිගන අඹකොටේ, දවුලගල, ගලහ ආදි ප්‍රදේශවල පදිංචි බවට තොරතුරු ලබා දී ඇතත් ඇතැම්  තොරතුරු ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබේ.

 චමිල් රූපසිංහ