kandy-alawathugoda-woman-murder

මහනුවර අලවතුගොඩ  ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ඊට තරමක් දුරින් පිහිටි නිවසක වාසය කළ යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදු කොට ඇති බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


සැමියා රාත්‍රී මළගෙදරක ගොස් සිටියදී තනිව සිටි කාන්තාවගේ නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණ බව ප්‍රදේශවාසීන් සාක්ෂි සපයා තිබුණ අතර බීමත්ව සැමියා හිරිහැර කිරීම හා කෑගැසීම් සාමාන්‍ය ලක්ෂණයක්වූ නිසා අසල්වාසීන් ඒ ගැන වැඩිදුර සොයා බලා තිබුනේ නැත.
නමුත් මළ ගෙදර ගොස් නැවත නිවසට සැමියා එන්නේ පාන්දර 2 ට පමණ වන අතර එම අවස්ථාවේ කාන්තාව නිවසේ නැති බව දැක ඔහු බිරියගේ ඥාතීන්ට හා පොලිසියට ඇය අතුරුදන් බව පැමිණිලි කර තිබුණි.
පසුදා උදෑසන මියගිය කාන්තාවගේ සිරුර ආසන්න වෙල්යායක මඩේ ඔබා තිබී හමුවිය.
අසල්වැසි මනමාලකම් කරන හමුදා සෙබළා හමුදා සේවයේ සිටියදී වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ සැහැල්ලු රාජකාරි වල නිරතව සිටි අයෙකු වූ අතර නිරන්තරයෙන් සේවයට යාමට අවශ්‍ය වූ අයෙකු නොවූ බවද පැවසිණි.
ඔහු සැමියා නිවසෙහි නැති අතරේ කාන්තාව සිටි නිවසට ගොස් කිසියම් අතවරයක් කර ඇතිද යන්න හා එය එළිවීම වැළැක්වීමට ඝාතනයකොට මඩ වගුරක දමන්නට ඇතිද යන්න ගැන පොලිසිය සැකසංකා පළ කර තිබේ.



ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයාය. සිද්ධිය පරීක්ෂා කරද්දී ඝාතනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොස්  සැකකාර හමුදා නිලධාරියාගේ නිවසට ගොස් සැකකරු සිටි කාමරයටම ගොස් හිඳගත් බව පොලිසිය කියයි .
මෙලෙස ඝාතනය කොට තිබුණේ ධනුකා මධුවන්ති ජයතිලක නැමැති 26 හැවිරිදි කාන්තාවකි. ඇය සැමියා සමග එක්ව සිල්ලර කඩයක් පවත්වා යමින් සිටියාය.
මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

සිද්ධියට අදාළ පෙර වාර්තාව
මහනුවර වෙලකින් හමුවූ කාන්තාවගේ මරණයට බීමත් සැමියා ගැන සැක