kandy-businessman-kidnap

කොළඹ සිට මහනුවර ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍යයකට සහභාගිවීමට මහනුවර නගරයට පැමිණ සිටි ව්‍යාපාරිකයකු වෑන් රථයකින් පැමිණි  හත් දෙනකු විසින් පැහැරගෙන ගොස් ඔහු සතු රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා දේපොළ කොල්ලකාගෙන පලා ගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. 

රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී හඳුනාගත් දෙදෙනකු සහ තවත් නොහඳුනන ප දෙනකු තමා පැහැරගෙන ගිය බව පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය කියයි.

කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මොහු තේ කොළ තොග වශයෙන් විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන යන අයෙකි. හොරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් නවසිය අනූ හයක් ළඟ තබා ගත්තේ යැයි පවසමින් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති මෙම ව්‍යාපාරිකයා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පසුව අධිකරණය මගින් ඇප මත මුදා හැර  සිටි බවද පොලිසිය සඳහන් කරයි. මෙම ව්‍යාපාරිකයා මහනුවර ප්‍රදේශයේ පැවැති ඔහුගේ හිතවතකුගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා මහනුවර නගරයට පැමිණ සිට ඇතැයිද පොලිසිය පැවසීය. මහනුවර නගරයේ සිටියදී පැහැර ගැනුණු මෙම ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් 62,000ක් සහිත මුදල් පසුම්බිය ඔහු පැළඳ සිටි රන් හා රිදී ආභරණ ද ජංගම දුරකථනයද මෙම කණ්ඩායම විසින් කොල්ලකනු ලැබ ඔහු කොළඹ ප්‍රදේශයේ අතහැර දමා පලා ගොස් ඇතැයි පොලිසිය වැඩිදුරටත් කීය.



පැහැරගැනීමට ලක් වී පසුව මුදා හැරුණු ව්‍යාපාරිකයා මේ බව පෙරේදා මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත. මහනුවර සහ මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මඟින්ද දිසානායක මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ මහනුවර පොලිස් අධිකාරි ඉලංගකෝන් යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මහනුවර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ  පවත්වාගෙන යයි.

මහනුවර ප්‍රසන්න ජයසූරිය