katunayake-incident

කටුනායක ගුවන් තොටුපොළේ  දී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගිය වෙඩික්කරුට නවාතැන් පහසුකම් දුන්බව කියන සැකකාර යුවළ පදිංචි මිල්ලනිය  නිවෙසේ සිටි සුනඛයා රැගෙන යෑමට ඛණ්ඩාරගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ මැදිහත්වීමෙන් කොස්තාපල්වරයකු යොදවා ආරක්ෂාව සපයා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.   කෝරළේගේ කංකානම්ලාගේ රවිදු වර්ණ රංග යනුවෙන් ව්‍යාජ නමකින් ඩුබායි රටට පලා යෑමට වෙඩික්කරු ඉකුත් 24 වැනිදා කටුනායක ගුවන් තොටුපොළට ගිය අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු අල්ලා කටුනායක ගුවන් තොටුපොළ පොලීසියට බාරදෙනු ලැබීය.



එදින සැකකරු ගුවන් තොටුපොළට පැමිණි මෝටර් රථය ද එහි රියැදුරු ද කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවේ සිටිය දී පලා ගියේය. සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමගම ඔහුට නවාතැන් පහසුකම් දුන් මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළ ද එම නිවෙසින් අතුරුදන් වූ අතර නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා පමණක් නිවසේ තනිව සිටි බව පැවැසේ. බණ්ඩාරගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු හමුවීමට ඉකුත් 28 වැනිදා පැමිණි කාන්තාවක කළ ඉල්ලීමක් අනුව එහි පරිපාලන අංශය භාරව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයකු යොදවා සුනඛයා රැගෙන යන තෙක් ආරක්ෂාව සැපයීමට කටයුතු කර ඇතැයි එම නිලධාරියා කීවේය.

එම නිවෙස පිහිටා ඇත්තේ මිල්ලනිය පොලිස් වසමේ බවට  කොස්තාපල්වරයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දුන්නද එය කනකට නොගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සුනඛයා රැගෙන යනතෙක් ආරක්ෂාව සපයන ලෙස කොස්තාපල්වරයාට නියෝග කර ඇතැයි ද සඳහන් කළේය.