kegalle-incident

බිරිඳගේ ඥාති සහෝදරයකුගේ නිවෙසේදී ගුවන් භටයකූට ගඩොලකින් පහර දී, මරා දැමීමේ චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් පස් දෙනකුට කෑගල්ල මහාධිකරණ විනිසුරුවරිය ඊයේ (8) මරණ දඬුවම නියම  කළාය. විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි තීරණය කරමින්, විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළ විනිසුරුවරිය, ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවකදී බෝගම්බර බන්ධනාගාරය තුළදී විත්තිකරුවන්ගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු ඔවුන් එල්ලා තැබීමට නියම කළාය.

කෑගල්ල දේවාලේගම කහගල්ල ප්‍රදේශයේ නිවෙසකදී මීට වසර 9කට ඉහත මෙම අපරාධය කිරීමේ චෝදනාවලට වැරැදිකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ, කහගල්ල දේවාලේගම පදිංචි වමින්ද ක්‍රිශාන්ත පෙරේරා, කෑගල්ල දික්වැල්ල පදිංචි වසන්ත කුමාර, උඩ බෝගල උඳුගොඩ පදිංචි අසංක ප්‍රදීප් කුමාර, කරඳැටියන දේවාලේගම පදිංචි ගයාන් චින්තක කලන්සූරිය සහ කන්දේගෙදර දේවාලේගම පදිංචි සුරංග දර්ශන ජයලත් නමැත්තන්ටය. 2014 ජුලි 3 වැනිදා හෝ ඊට ආසන්න දිනක දී කහගල්ලේ පදිංචිව සිටි නන්ද අලහකෝන් නමැති 39 හැවිරිදි දෙදරු පියකු ඝාතනය කළැයි දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ වරදක් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.



මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී ඝාතනයට ලක්වූ නන්ද අලහකෝන් නමැත්තා ගුවන් හමුදාවේ සේවය කර, පසුව නීත්‍යනුකූලව ඉවත් වී, අරුග්ගම්මන විද්‍යාලයේ උප ගුරුවරියක විවාහ කරගෙන ඇති බවත්, දරු දෙදෙනකු  ලැබීමෙන් පසුව කොරියාවේ රැකියාවකට ගිය ඔහු, එහි සේවය කර, වසර තුනකට පසු යළි ලංකාවට පැමිණ ඇති බවත් අනාවරණය විය. ඔහු ලංකාවට පැමිණි පසු තදින් මත්පැනට ඇබ්බැහි වී ඇති බව ද එහිදී අනාවරණය විය.  මත්පැන් පානය කර පහරදීම හේතුවෙන් සිය බිරිඳ දරු දෙදෙනා ද රැගෙන කහගල්ල මහගෙදරට පැමිණ ඇත බවත්, පසුව මරණකරු ද එහි පැමිණ ඇති බවත් එහිදී හෙළි විය. මරණකරු සිද්ධිය වූ 2014 ජුලි 3 වැනිදා රාත්‍රියේ නිවෙස ආසන්නයේ පදිංචිව සිටින බිරිඳගේ ඥාති සහෝදරයකුගේ නිවෙසේදී තවත් 6 දෙනෙකු සමග එක්ව මත්පැන් පානය කර ඇතැයි ද, එහිදී පානය කරමින් සිටි මත්පැන් බෝතලය බිමට වැටී බිඳීමෙන් මරණකරුගේ කකුල බෝතල් කටුවකට කැපී තුවාල ලබා ඇති බවත්, එහි සිටි පුද්ගලයකු ඔහු ත්‍රිරෝද රථයකින් කෑගල්ලට ගොස් ප්‍රතිකාර ගෙන ආපසු නිවෙසට පැමිණ ඇති  බවත්, නඩු විභාගයේදී හෙළි විය.

ප්‍රතිකාර ගෙන ආපසු  නිවෙසට පැමිණි මරණකරු, නිවෙසට ගොස් පිහියක්  රැගෙන මිදුලට පැමිණි එක් අවස්ථාවේදී, විත්තිකරුවකු මිදුලේ ගොඩ ගසා තිබුණු සිමෙන්ති ගඩොල් ගොඩකින් සිමෙන්ති ගඩොලක් ගෙන  මරණකරුගේ හිසට පහර දී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය. දීර්ඝ නඩු විභාගයකින් අන තු රු ව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි ද,

විත්තිකරුවන් 5 දෙනාම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වැරැදිකරුවන් කරන්නේ යැයි පැවැසූ විනිසුරුවරිය, මෙම චෝදනාව සම්බන්ධයෙන් දිය හැකි මරණ දඬුවම නියම කිරීමට ප්‍රථම යමක් කීමට ඇත්දැයි ද විමසුවාය. එම අවස්ථාවේදී විත්තිකරුවෝ 5 දෙනා වෙන වෙනම අධිකරණය අමතමින්, තමන් මෙම මරණ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්, මෙම අපරාධයට තමන්ගේ කිසිම සම්බන්ධතාවක් නැති බවත් පැවැසූහ. ඉන් අනතුරුව, විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළ විනිසුරුවරිය, අවශ්‍ය නම් මෙම තීන්දුව සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් දැනුම් දුන්නාය.
චමින්ද වැවතැන්න