hettipola-monk-murder

අට හැවිරිදි දියණිය අපයෝජනය‍ කළැයි පියා විසින් පහර දී ඝාතනය කළ කුරුණෑගල අගාරඋඩ, හිත්තරපොල, ආවාසය විහාරස්ථානයේ එලුවාපොල වගීශ්වර හිමිනමගේ දේහය හිමිනම වාසය කළ විහාරස්ථානයට

නොගැනීමට ගම්වාසීන් සහ විහාරස්ථානයේ දායකයන් තීරණය කර ඇත.
හිත්තරපොල ගම්මානයේ දී 28 වැනිදා දින මෙම හිමිනම ඝාතනය කර තිබුණේ එම ගම්මානයේම පදිංචි 8 හැවිරිදි දැරියක විහාරස්ථානයේදී හිමිනම විසින් ස්පර්ශ කර අපයෝජනය කළැයි කියන සිද්ධියක් මතය.


මෙම අට හැවිරිදි දැරිය පසුගිය 28 වැනිදා මව සහ පවුලේ අය සමග විහාරස්ථානයට ගොස් ඇත්තේ විහාරස්ථාන භූමිය පිරිසුදු කිරීම සඳහාය. බෝමළුව පිරිසුදු කිරීමට ඉදලක් ගැනීමට හිමිනම වාසය කළ ලැගුම්ගෙයට ගිය අවස්ථාවේදී හිමිනම දැරියගේ ශරීරය ස්පර්ශ කර අපයෝජනයට ලක් කළැයි දැරිය තම මවට පවසා ඇති අතර මව එම සිදුවීම පියාට දන්වා තිබේ.

මාස දෙකක කාලයක් තිස්සේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවලදී හිමිනම අවස්ථා කීපයකදීම එලෙස තමා අපයෝජනයට ලක්කළ බව දැරිය මවුපියන්ට පවසා ඇතැයි පැවසේ. එම සිදුවීමෙන් කෝපයට පත්වූ පියා ඔහුගේ අයියා සමග හිමිනම සොයා විහාරස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේ හිමිනම විහාරස්ථානයේ නොසිටි හෙයින් ගම්මානයේම පිහිටි අනෙක් විහාරස්ථානයට හිමිනම සොයාගෙන ගොස් තිබේ. හිමිනම එම විහාරස්ථානයේ කාමරයක නිදාගෙන සිට ඇති අතර කෝපයට පත්වූ පියා හිමිනමට අතින්, පයින් පහරදී බිම දිගේ ඇදගෙන ගොස් සහෝදරයාගේ සහයෝගය ඇතිව යතුරුපැදියට නංවාගෙන හිමිනම වාසය කළ විහාරස්ථානයට රැගෙන විත් ඇත.  විහාරස්ථානයේදී දැරියගේ පියා හිමිනමට අතින්, පයින් සහ මපෝච්චිවලින් පහරදී  ඇත.

හිමිනමට පහර දෙන බවට ගම්වාසීන් හෙට්ටිපොල පොලිසියට දැනුම්දී ඇති අතර එම ස්ථානයට පැමිණි නිලධාරීන් 1990 ගිලන්රථයකින් හිමිනම කුලියාපිටිය මූලික රෝහලට වෙත රැගෙන ගොස් තිබේ.

රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී හිමිනම මරණයට පත්ව ඇත. ඝාතනයට ලක්වූ හිමිනමගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (2) කුලියාපිටිය මූලික රෝහලේදී සිදු කෙරිණි. හිමිනමගේ දේහය හිමිනම වාසය කළ හිත්තරපොල, අගාරඋඩ ආවාසය විහාරස්ථානයට ගෙන ඒමට ගම්වාසීන් සහ විහාරස්ථානයේ දායකයන් විරෝධය ප්‍රකාශ කිරීම හේතුවෙන් හිමිනම ගිහි කල වාසය කළ කුලියාපිටිය, වැවගම ගම්මානයේ හිමිනමගේ දරුවකුගේ නිවසට රැගෙන යාමට සිදුවී ඇතැයි පැවසේ. හිමිනම මැදිවිය ඉක්මවීමෙන් පසුව මහණ වී ඇති අතර විවාහකව සිටි දරුවන් තිදෙනකුගේ පියකු බව කියති.
ධම්මිකා බාලසූරිය