උතුරු පළාතේ ගවයන් අතර මේ වනවිට පැතිර යන රෝගී තත්ත්වය සමේ ගැටිති සහිත රෝගී තත්ත්වය හෙවත් 'Lumpy Skin Disease' යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය සඳහන් කරයි.  වෛරසයක් හේතුවෙන් හට ගන්නා මෙම රෝගය ගව මුඛ හා කුර රෝගය මෙන් සුළඟින් ව්‍යාප්ත නොවන අතර, බෝ විය හැකි එකම ක්‍රමය රෝගී සතුන් අනෙක් සතුන් හා ස්පර්ශ වීමෙන් පමණක් වේ. ඒ අනුව රෝගී සතුන් ගව  පට්ටිවලින් ඈත් කර හුදෙකලාව තැබිය යුතු අතර, එම සතුන් ස්පර්ශ කරන්නේ නම් හොඳින් විෂබීජ නාශක යොදා දෑත් පිරිසුදු කර ගැනීමකින් තොරව අනෙක් සතුන් ස්පර්ශ කිරීම සිදු නොකළ යුතු වේ.



රෝගය වැලඳීමෙන් ගවයන් මරණයට පත්වීම අල්ප වේ. එසේම සමෙහි හට ගන්නා ගැටිති ගැළ වී වැටීම හේතුවෙන් තුවාල සිදුවන අතර, ඒවාට ප්‍රතිකාර ලබාදීම මගින් එම සතුන් සුවපත් වේ. කෙසේ වුවද මෙම රෝගය එක්වරක් වැලඳුනු ගවයෙකුට නැවත  එය වැලඳීමේ හැකියාවක් නොමැති බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය පෙන්වා දෙන අතර, ඒ අනුව රෝග තත්ත්වය පිළිබඳ බියවිය යුතු නොමැති බවත්, පශු වෛද්‍ය නිලධාර්න් විසින් ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසත් අදාළ විශේෂඥයෝ ගොවිපොළ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිති.

මේ අතර මේ පිළිබඳ වැඩිදුරටත් දැනුම්වත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, වෛද්‍ය එල්.ඩබ්.එන්. සමරනායක මහතා සඳහන් කර සිටියේ, මෙම  රෝග තත්ත්වය ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම වාර්තා වී ඇත්තේ,  2019දී බවත්, ඉන් පෙර මෙම රෝග තත්ත්වය මෙරටින් වාර්තා වී නොමැති බවත්ය. 

මෙම රෝග තත්ත්වය දැනට උතුරු පළාතේ දිස්ත්‍රික්ක 04ක වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් එහි පිටත් කර යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ඊයේ (07දා) කටයුතු යොදා තිබිණි.

මීට අමතරව රෝගය අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා උතුරු පළාතේ සිට සතුන් හා සත්ත්ව නිෂ්පාදන ප්‍රවාහනය  තාවකාලිකව තහනම් කර තිබේ. එසේම හොඳින් පශු පාලනය සිදු කෙරෙන නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල සත්ත්ව පාලනය සිදුකෙරෙන ගොවිපොළවලට බාහිර පුද්ගලයන් ඇතුළු කිරීම, කිරි එකතු කරන භාජන විෂබීජානුහරණය කිරීමෙන් පසු පමණක් භාවිතයට ගැනීම වැනි රෝග වළක්වා ගැනීමේ පියවර රැසක් මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගෙන ඇති බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. කෙසේ වුවද මෙම රෝග තත්ත්වය සම්බන්ධව බිය විය යුතු නොවන අතර, ගවයන් මරණයට පත්වීම අවම මට්ටමක පවතින නිසාත්, රෝගය ව්‍යාප්ත වුවහොත් එය කිරි නිෂ්පාදනය අඩාළ වීමට මූලික වශයෙන් බලපාන හෙයින් ගවපාලනයෙහි යෙදෙන පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
නිදර්ශනී වික්‍රමසිංහ