මහරගම නගර සභාවට අයත් කඩා දැමූ පොදු වැසිකිළිය පිහිටි භූමියට අලුයම් කාලයේදී පැමිණෙන රෙදි වෙළෙඳුන් බිය ගන්වා පුද්ගලයන් කිහිප දෙනෙකු කප්පම් ගැනීමේ ජාවාරමක නිරතව ඇතැයි මහරගම ස්වාධීන නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා පවසයි.
මාස අටක පමණ සිට එක් වෙළෙන්දෙකුගෙන් මසකට රුපියල් 10,000 සිට 30,000 දක්වා මුදලක් මෙසේ කප්පම් ගන්නා බවද මන්ත්‍රීවරයා කියා සිටියි.මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ පොදු වැසිකිළිය මීට මාස 15කට පමණ පෙර නගර සභාවේ සභාපතිවරයා විසින් කඩා ඉවත් කිරීමෙන් පසුව වර්ග අඩි 1500 පමණ ඉඩ කඩක් සහිත භූමිය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන හිස්ව පැවතිණි.
මේ හේතුවෙන් මුල් කාලයේදී ත්‍රිරෝද රථ හා පමුණුවට පැමිණෙන පාරිභෝගිකයන්ගේ රථවාහන ගාල් කිරීමට යොදා ගැණුනු අතර පසුව ඊට යාබද ත්‍රිරෝද රථ ගාලක රියැදුරන් කිහිපදෙනෙකු මැදිහත් වී අත්තනෝමතික ලෙස අලුයම් කාලයේදී පමුණුවට පැමිණෙන රෙදි ව්‍යාපාරිකයන්ගෙන් දිනකට රුපියල් 500 - 1000 දක්වා මුදලක් කප්පම් ගෙන රෙදි වෙළෙඳාම් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පැවසේ. මෙසේ කප්පම් ගන්නා පුද්ගලයින් හයදෙනෙකු පමණ සිටින අතර ඉන් ඇතැමෙක් මහරගම පදිංචිකරුවන් වන අතර තවත් කිහිපදෙනෙකු පිටස්තරව පදිංචිව සිටින බව රුවත් සේනාරත්න මහතා පවසයි.
මෙම භූමිය නගර සභාවේ ටෙන්ඩර් පටිපාටිය අනුව ලබා දුන්නේ නම් ව්‍යාපාරිකයින් 50 දෙනෙකුට පමණ ව්‍යාපාර කිරීමට පහසුකම් සැලසිය හැකි නමුත් කප්පම්කරුවන්ගේ මැදිහත් වීමෙන් දී ඇත්තේ ව්‍යාපාරිකයන් 15දෙනෙකුට පමණක් බවත් කියා සිටී.
මේ සම්බන්ධයෙන් මහරගම පමුණුව රෙදි පිළි ව්‍යාපාරිකයන් බොහෝ පිරිසක් විරෝධය පළ කළත් ඊට එරෙහිව පොලීසියට පැමිණිලි කිරීමට බියක් දක්වන බවද පැවසේ. මේ සම්බන්ධයෙන් මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට අදාල සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කරන ලෙසත්, නගර සභා ලේකම්වරයාගෙන් විමසීමේදී ඊට එරෙහිව කඩිනමින් පියවරක් ගන්නා බවට තමාට පැවසූ බවත් නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා පවසයි. එබැවින් මෙම ස්ථානය හැකි ඉක්මනින් ටෙන්ඩර් කොට නගර සභාව හරහා අසරණ රෙදි පිළි ව්‍යාපාරිකයන්ට දී කබලෙන් ලිපට වැටුණු ජනයාට සහනයක් වන්නට පියවර ගන්නා ලෙස මහරගම නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ශාන්න ප්‍රදීප් කුමාර කුලරන්න
0 Comments