mahinda-foreign-trip

ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම දින දහයකට තාවකාලිකව අත්හිටුවන්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පිළිණ ගමිගේ මහතා ඊයේ (08) නියෝග කළේය. දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අවශ්‍යව ඇති බැවින් තම සේවාදායකයාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන අප්‍රේල් මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළ ඉවත් කිරීමට අධිකරණය තීරණය කළේය. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් වන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් සජිත් ජයතිලක, මහින්ද කහඳගම, අජන්ත ලියනගේ, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු යන අය ඇතුළු සැකකරුවෝ 22 දෙනෙක් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ ඊයේ (08) පෙනී සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය සී.බී. රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන අයවලුන්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසට ද ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළහ. මාර්තු මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළ බහරේන් හි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුවකට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් සහභාගීවීම සඳහා තම සේවාදායකයාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරු අධිකරණයෙන්  ඉල්ලීමක් කළහ.  ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 10 වැනිදා සිට 31 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග නිකුත් කළේය.



හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරුන් ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ තම සේවාදායකයාටද අද (08) දින සිට දින අටක් විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙසය. ඒ අනුව අධිකරණයෙන් එම ඉල්ලීමට ඉඩ ලබාදුනි. මෙම සිද්ධියට අදාළව රාජකාරිය පැහැර හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් සැකකරුවකු ලෙස නම් කර නැත්තේ මන්දැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේ දී කරුණු ඉදිරිපත් කළේය. මේ සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාට දැනුම් දී ඇති බවත් නීතිපතිවරයාට සිහිකැඳවීමක්ද කර ඇති බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී සඳහන් කළේය.
නිමන්ති රණසිංහ