mahinda-siriwardane

ආරක්‍ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන  බවට සඳහන් කරමින් මුදල් ආමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාව සමග පැවැත්වීමට තිබූ සාකච්ඡාව මගහැරිය බව විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ස්ථාවර නියෝග 27/2 යටතේ ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ආරක්‍ෂක මණ්ඩල  රැස්වීම ඊයේ දිනයේ පැවති අතර, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඊට සහභාගි වූ බවත්, ඒ අනුව කොමිසමට දන්වා ඇති පරිදි වෙනත්  දිනක අදාළ සාකච්ඡාව සිදුකරනු ඇති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.



විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස - වර්තමාන  ආණ්ඩුව කෙරෙහි ජනතාවද ඇති අප්‍රසාදය සඟවා ගැනීම උදෙසා ආණ්ඩුව තවදුරටත් මැතිවරණ කල් දැමීමේ උත්සාහයක නිරතවෙලා සිටිනවා. මේ වනවිට විවිධ කූට උපක්‍රම 22ක් පමණ මැතිවරණය  නොපැවැත්වීමට යොදාගත් බව මාධ්‍ය මගින් වාර්තාවෙලා තිබෙනවා. ඒ  සියලු උත්සාහයන් අසාර්ථක තැන මැතිවරණය සඳහා මුදල් නිකුත් නොකිරීම ආණ්ඩුවේ අවසන්  උපක්‍රමය වී ඇති බව පේනවා. අද උදේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට ආරාධනා කරලා තිබුණා සාකච්ඡාවකට. එතුමා ඒ සාකච්ඡාව මගහැරලා තිබෙනවා ආරක්‍ෂක මණ්ඩල රැස්වීම රැස්වෙනවා කියලා. එහෙම දෙයක් නෑනේ. ජනාධිපතිතුමත් මෙතන ඉන්නවානේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේ ඉඳලා එතුමා ආවේ. මම මෙතන හිටියා. ජාතික ආරක්‍ෂක සභාව අද පෙරවරැවේ රැස් වුණා. ඒක ඉවර කරලා තමයි ජනාධිපතිතුමා පැමිණියේ.



විපක්‍ෂනායක සජිත්  ප්‍රේමදාස - රාජ්‍ය ආරක්‍ෂක ඇමතිත් මෙතන, අගමැතිත්  මෙතන. මම හිතන්නේ සිහින  ලෝකයේ ආරක්‍ෂක මණ්ඩල රැස්වීම තියන්න ඇති. වෙන මොනවටවත් නෙවෙයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා  මැතිවරණ කොමිසමට යෑම  වැළැක්වීම සඳහා මේක කළේ, මම අහන්න කැමතියි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්  අතුරු නියෝගය ක්‍රියාත්මක කරනවාද? නැද්ද?

අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන - මේ පටන්  ගත්ත කතාව නෙවෙයි. මෙතුමා කතා කරන්නේ. ඒක එතුමාගේ සිරිතක්. ඊළඟ එක තමයි අතුරු නියෝගය අනුව අපේ නිලධාර්න් කටයුතු කරයි.

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස - මෙතුමා  අධිකරණය දුන්න තීන්දුවවත් දන්නේ නෑ. මුදල් ඇමතිවරයාටත් නිකුත් කරලා තිබෙනවා  ඒ නියෝගය, ඒ නියෝගය  රජයක් ලෙස ක්‍රියාත්මක කරනවාද? නැද්ද? කොන්දක් තිබෙනවා නම් උත්තර දෙන්න.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - එතුමා පටන් ගත්තේ භාණ්ඩාගාර ලේකම්ට ලිපියක් නිකුත් කරලා තිබෙනවා මැතිවරණ කොමිසමේ සභාපති විසින් කියලා. ඒක බොරුවක් කියලා මෙතුමා පටන් ගත්තා. මම ඒක බොරු නෙවෙයි කියලා මම ඔප්පු කළා. ඒ ලිපිය අනුව ඒ දෙදෙනා අතර නැවත සාකච්ඡාවක් කෙරෙයි.
 දිනේෂ් සමරකෝන්