malwaththa-asgiri-request

ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පැටවීම වෙනුවට දූෂණය පිටුදැක මහජන නියෝජිතයන් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීමෙන් මහජන පීඩනය අවම කළ හැකි යැයි මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් සඳහන්  කර ඇත. මහජනතාව  අතර  නොසන්සුන්තාවක් නිර්මාණය වීමට ඉඩ  නොතබා පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නැයි ද මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන්ගේ සහ වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමිවරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.



රට තුළ උද්ගතව තිබූ දැඩි ආර්ථික, දේශපාලනික සාමාජීය අස්ථාවරත්වය යම් පමණකට සමනය කොට රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට ගරු ජනාධිපතිතුමන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ මහා සංඝ රත්නය ලෙස අපගේ ප්‍රසාදය පළ කරමු. එහෙත් පසුගිය කාලවකවානුව තුළ සිදුවූ ආර්ථික සංකෝචනය, අධිඋද්ධමනය, දුර්වල රාජ්‍ය කළමනා කරණය මෙන්ම වර්තමානය වන විට ක්‍රියාත්මක වන අධික විදුලි ගාස්තු, ජල ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල දැරිය නොහැකි ප්‍රමාණයකින් ඉහළ යාම හේතුවෙන් ජන ජීවිත අඩාල වීමත් සමග උද්ගතව ඇති සමාජ පීඩනය පිළිබඳ ගරු ජනාධිපතිතුමන් ද මනා අවබෝධයකින් පසුවනු ඇතැයි අපි සිතමු. උද්ගතව ඇති ආර්ථික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ඉහළ යන ජීවින වියදම අවම කොට මහජන ජීවිත සුරක්ෂිත කිරීමට ජනතාහිතවාදී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතුය. එසේම මෙම තීරණාත්මක අවස්ථාවේ රට ආර්ථික වශයෙන් යළි ස්ථාවර කිරීමට සියලු පාර්ශ්වයන් සිය යුතුකම් හා වගකීම් මනාව වටහාගෙන කටයුතු කළ යුතු බව අපි තරයේ විශ්වාස කරමු.

ඒ සඳහා ප්‍රායෝගික තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පසුගිය කාලවකවානුව පුරාවටම අපි පෙන්වා දුන්නෙමු. මහජන සුභසිද්ධිය උදෙසා පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයන් ඉවත ලා ජාතික ප්‍රතිපත්තීන් මත පදනම් වූ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අපි නැවතත් අවධාරණය කර සිටිමු. ජීවන වියදම ඉහළ යාමෙන් ජන ජීවිත අඩාළ වීමත් සමග සිදුවන සමාජ පරිහානිය අරාජිකත්වය පිළිබඳ බෞද්ධ සූත්‍ර සාහිත්‍යාගත කූටදන්ත සූත්‍රය, චක්කවත්ති සිහනාද සූත්‍රය වැනි සූත්‍ර තුළ මනාව විස්තර කොට ඇත.

එහෙයින් ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පැටවීම වෙනුවට රාජ්‍ය මුදල් නිසි කළමනාකරණය, දූෂණය පිටුදැකීම රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම, මහජන නියෝජිතයන් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩාවන් අවම කිරීමට රජය කටයුතු කළ යුතු බව අපි අවධාරණය කර සිටිමු.

තවද, පළාත් පාලන මැතිවරණය කල් දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට හේතු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ජනතා පරාමාධිපත්‍ය තහවුරු කිරීම බව ජනතා පරමාධිපත්‍යයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයකු ලෙස සම්භාවනාවට පාත්‍රව ඇති ඔබතුමන් ද මනාව දන්නා කරුණකි. එහෙයින් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමයි. පවතින ගැටලු පිළිබඳ සිදුකරන මහජන විරෝධතාවන් රට තුළ දේශපාලන, ආර්ථික හා සමාජීය අස්ථාවරත්වයක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නොකළ යුතුය. එසේම සාමකාමීව රටේ නෛතික සීමාවන්ට අනුගතව නිදහසේ ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මහජනතාවට තිබිය යුතුය. එහෙයින් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින් මහජන ගැටලු පිළිබඳ සංවේදීව ජීවන වියදම පාලනය කොට ජන ජීවිත ක්‍රමයෙන් යථාවත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ සඳහා ඔබතුමන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය ලැබේවායි ආශිංසනය කරම්හ.

ජේ.ඒ.එල්. ජයසිංහ