march15-strike

බස්නාහිර, මධ්‍යම, දකුණ සහ නැගෙනහිර පළාත්වල හෙට 13 සඳුදා දිනයේදී සැලසුම් සහගත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


කෙසේ වෙතත්, මෙම පළාත්වල මාතෘ හා ළමා රෝහල්, ජාතික පිළිකා ආයතනය, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, වකුගඩු රෝග ප්‍රතිකාර ඒකක, හමුදා රෝහල් සහ සියලුම රෝහල්වල හදිසි සේවා ඇතුළු විශේෂිත රෝහල්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

15 වනදා ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව හෙට දිනයේ බස්නාහිර, දකුණ, මධ්‍යම, නැගෙනහිර යන පළාත්වල වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දන්වා ඇත.



ලබන 15 වනදා ගුරු- විදුහල්පති වර්ජනය ස්ථීරව පැවැත්වෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසන අතර  දිවයින පුරා පාසල්වල සියලුම ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සහ ගුරු උපදේශකවරු එම වර්ජනයට එක්වන බව එම සන්ධානය ප්‍රකාශ කළේය.වැඩිකළ බදු සහ ඉහළ බැංකු පොලී අනුපාත ඇතුළු කරුණු මුල්කරගනිමින් මේ මස 15 වනදා වෘත්තීය සමිති රැසක් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වනු ඇත.

ජල සම්පාදන හා ජලාපවාහන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජල සැපයුම අඩාල නොවන පරිදි සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරන බවයි.



විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ උප සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ 15 වනදා ඔවුන්ද අසනීප නිවාඩු වාර්තාකරමින් වර්ජනයට සහාය පළකරන බවයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද පසුගිය 09 වනදා සිට අධ්‍යයන කටයුතුවලින් බැහැර වූ අතර අනෙකුත් වෘත්තීය සමිති සමඟ එක්ව හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකිරීමට තීරණය කර තිබෙයි.


එමෙන්ම බැංකු සේවකයින්ද හෙට සිට කලු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය කියා සිටියේය. 
මීට අමතරව දුම්රිය ඛණිජ තෙල් ඇතුළු සේවා ගනනාවක් 15 දා වර්ජනයට සහය පළ කර ඇති බවට වාර්තා පළවේ.