nawagamuwa-incident

අනියම් බිරිය බව කියන කාන්තාවකගේ නිවෙසකට ගිනි තැබූ පුද්ගලයකු පොරව පහරකින් බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

තුවාලකරුට පහර දුන් කාන්තාව සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගැනුණ කාන්තාව සහ තුවාලකරු අතර කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති බවත් සැකකාරිය තමා විවාහ කර ගන්නා ලෙස නිතර නිතර බල කිරීම නිසා දෙදෙනා අතර බහින්බස් වීම් ඇති වී තිබෙන බවත් ඒ නිසාවෙන් කෝපයට පත් වූ අනියම් සැමියා බව කියන තුවාලකරු සැකකාරිය නිවෙසේ නොමැති අවස්ථාවකදී ඇයගේ රෙදිපිළි සියල්ල ගෙට දමා නිවෙසට ගිනි තබා ඇති බවත් සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

සිය අනියම් සැමියා නිවෙසට ගිනි තබා තිබෙනු දුටු සැකකාරිය නිවසේ තිබූ පොරොවක් ගෙනැවිත් ඔහුගේ හිසට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණයවී යැයි පොලිසිය පවසයි.  අත්අඩංගුවට ගැනුණ සැකකාරිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.
කේ. බුද්ධික කුමාරසිරි