nawalapitiya-incident

නාවලපිටිය පාසලක ශිෂ්‍යාවන් පිරිසකගෙන් ආදරය ඉල්ලා නිතර සිදු කරන හිරිහැර පිළිබඳ එම පාසලේ සිසුන් තිදෙනකු තරුණයන් පිරිසකගෙන් විමසීමේදී ඇතිවූ ගැටුමකින් පාසල් සිසුන් ඇතුළු 7 දෙනකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි. එම විදුහලේ සිසුන් තිදෙනකු බාහිර තරුණයන් තිදෙනකු හා සිසුවකුගේ සොහොයුරකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.  නාවලපිටිය නගරයේ වෙළෙඳසැලක මෙම ගැටුම ඇතිව තිබෙන අතර එම වෙළෙඳසැලට ද දැඩි හානි සිදු වී ඇතැයි පොලිසිය පවසයි.



පාසල් නිමවී නිවෙස් කරා යන සිසුවියන්ට සිදුකරන මෙම කරදර නතර කරන ලෙස එය දුටු එම පාසලේ උසස් පෙළ සිසුන් පිරිසක් මෙම තරුණ පිරිසට පවසා ඇති බවත් එම තරුණයන් අතරින් දෙදෙනකු අවවාද කිරීමට මුල් වූ පාසල් සිසුවකුගේ නිවෙසට  ගොස් තර්ජනය කර ඇති බවත් පොලිසිය කළ මුලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත. එහිදී නිවසේ අයට එය ඇසී ඔවුන් එළියට එන විට එම තරුණයන් ගිය පාපැදිය ද දමා පැන ගොස් ඇති බව පොලීසිය කියයි. එම පාපැදිය යළි ලබාදීමට නම් ඔවුන්ගේ දෙමවුපියන් කැඳවාගෙන එන ලෙස දන්වා ඇති අතර එම සිසුන් තිදෙනකු පාසල නිමවී නිවෙස්වලට යමින් සිටිය දී සිද්ධියට මුල් වූ වෙළෙඳසලේ සිටි තරුණයන් පස් දෙනකු සිසුන් තිදෙනා වෙළෙඳ සැලට රැගෙන ගොස් පහර දී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

එම සිසුන් හා ඔවුන්ගේ සොහොයුරකු ද එම ගැටුමට හවුල්වී ඇති අතර අවසානයේ දෙපිරිසේම හත් දෙනකු තුවාල ලබා මෙසේ රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

 සුරංග රාජනායක