nittambuwa-incident

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මත්ද්‍රව්‍ය නඩුවක සාක්කි දීමට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු කපා කොටා මරා දමන බවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු විසින් අධිකරණ භූමියේදී තර්ජනය කර පලා යනු ලැබ ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මරණ තර්ජනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා මේ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.



වැලිකඩ පොලිසියට  අනුයුක්තව මේ වන විට රාජකාරි කරන මෙම පොලිස් කොස්තාපල්වරයා ගම්පහ නාල්ල පොලිසියේ රාජකාරි කරන  වකවානුවේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියමින් හෙරොයින් සමඟ පුද්ගලයකු මීට මාස නමයකට පමණ ඉහතදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ මෙම හෙරොයින් ජාවාරම්කරු බව කියන පුද්ගලයා, පසුව අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබිණි යැයි පොලිසිය සඳහන් කරයි. නඩුවට පෙනී සිටීම සඳහා සැකකරු ද නඩුවට සාක්කි දීම සඳහා වැටලීම සිදු කළ පොලිස් කොස්තාපල්වරයා ද ඊයෙ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇත. පොලිස් කොස්තාපල්වරයා නඩුවේ සාක්කි ලබාදී අධිකරණ භූමියෙන් පිටව යාමට සූදානම් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ජාවාරම්කරු බව කියන පුද්ගලයා මෙම මරණ තර්ජනය එල්ල  කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



“මම කොයි මොහොතක හරි උඹව කපා කොටා මරා දමනවා. මට හිරේ යන එක එච්චර ලොකු ප්‍රශ්නයක්  නොවේ'' යැයි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන පුද්ගලයා කොස්තාපල්වරයාට තර්ජනය කර තිබෙන බව එම කොස්තාපල්වරයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට තිබේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන පුද්ගලයා නාල්ල පොලිස් වසමේ දිවුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය