no-election-april25

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් නොමැති වීම නිසා අප්‍රේල් 25වැනිදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිර්ම සඳහා මේ මස 28වැනිදා සිට දින හතරක් නම් කර තිබෙන අතර, එහෙත් මේ වනතෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙන්නේ දිස්ත්‍රික්ක 17ක පමණක් බවද රජයේ මුද්‍රණාලය සඳහන් කරයි. මේ ආකාරයට මුද්‍රණය කර තිබෙන තැපැල් ඡන්ද පත්‍රිකා මෙතෙක් මැතිවරණ කොමිසමට භාර දීමටද කටයුතු කර නොමැති අතර, අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීම සිදුවන්නේ රජයේ මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව ලැබීමෙන් පසුව බවද රජයේ මුද්‍රණාලය පෙන්වා දෙයි.



ඉතිරි තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට දින 07ක පමණ කාලයක් ගත වන බවට රජයේ මුද්‍රණාලය සඳහන් කරන අතර, මේ මස 28වැනිදා තැපැල් ඡන්දය පැවැත්වීමට නම් මේ මස 20වැනිදා වනවිට තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදිය යුතු වේ. සම්පූර්ණයෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දින 30ක පමණ කාලයක් ගත වන බවට රජයේ  මුද්‍රණාලය සඳහන් කරන අතර මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුණු පසු පත්‍රිකා මුද්‍රණයට අදාළ පොලිස් ආරක්ෂාව හිමිවන්නේ දින තුනකට පසුව බවද රජයේ මුද්‍රණාලය සඳහන් කරයි. මේ අනුව අද (17දා) දිනය තුළදී මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබාදීම සිදුකළද ඡන්ද පත්‍රිකා ඇතුළු මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සිදුවන්නේ මේ මස 20වැනිදා වන අතර, එදින සිට මාසයක කාලයක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම සඳහා ගත වේ.

යම් ලෙසකින් අද දිනයේදී මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම සිදුකළද ඡන්ද පත්‍රිකා ඇතුළු මුද්‍රණ කටයුතු අවසන් වීමට නියමිතව තිබෙන්නේ ලබන මස 20වැනිදා වන අතර ඡන්ද පත්‍රිකා හා පෝස්ටර් ඇතුළු ලිපිලේඛන දිවයින පුරා ප්‍රවාහනය සඳහාද යම් කාලයක් ගත වේ. ඡන්ද හිමියන්ගේ නිවෙස් වෙත ලබාදෙන කාඩ්පත් බෙදාදීම සඳහා අවම වශයෙන් දින 21 - 28 අතර කාලයක් ගත වන බවත්,  මීට අමතරව තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ තේම් භාර නිලධාර්න් වෙත ලබාදීම ඇතුළු කටයුතු සඳහාද දින  07ක පමණ කාලයක් ගත වන බවත් තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.



පවතින තත්ත්වය තුළ දැනට නියම කර ඇති දිනවල තැපැල් ඡන්දය පැවැත්වීමට නොහැකි වන බවත්, ලබන මස 25වැනිදා ඡන්ද විමසීම පැවැත්වීමටද නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් පැෆ්රල් සංවිධානය සඳහන් කරයි. ආණ්ඩුව හිතාමතාම ඡන්ද විමසීම් පැවැත්වීම කල් දමමින් තිබෙන බවත්, මේ වනවිට මුද්‍රණාලය විසින් මුද්‍රණය කර තිබෙන තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රමාණය හා ඉදිරි මුද්‍රණ කටයුතු සඳහා කොපමණ මුදලක් අවශ්‍ය වනවාද යන්න රජයේ මුද්‍රණාලයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ  ඊයේ (16දා) තොරතුරු ඉල්ලා සිටි බවත් එම සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

පළාත් පාලන ආයතනවල නිල කාලය මේ මස 19වැනිදා වනවිට අවසන් වන බවත්, ඉන්පසුව පළාත් පාලන ආයතනවල බලය  නිලධාරීන් සතු අතර, පළාත් සභාද  මේ වනවිට පාලනය කරනු ලබන්නේ නිලධාර්න් විසින් බවත් ඔහු පවසා සිටියේය.  ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට හා ඡන්ද විමසීම් පැවැත්වීමට මැතිවරණ කොමිසමට මුදල් ලබා නොදීම නිසා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම දිගින් දිගටම කල් දැමීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය. මේ අනුව පළාත් පාලන ආයතන පනතට අනුව මැතිවරණ කොමිසමට ඡන්ද විමසීම පැවැත්වෙන දිනය දින 21කට වරක් ප්‍රකාශ කිරීමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.



මේ අතර, ඡන්ද පත්‍රිකා ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතුවලට අවශ්‍ය මුදල් මෙතෙක් නොලැබුණ බවට මැතිවරණ කොමිසමට ඊයේ (16දා) ලිඛිතව දන්වා යැවූ බව රජයේ මුද්‍රණලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය. දෙවන අදියරේ මුද්‍රණ කටයුතු සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන දෙසීයක මුදලක්වත් ලැබිය යුතු බවත්, අදාළ මුදල් ලබාදෙන ලෙසට භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් පසුගියදා ඉල්ලා සිටි බවත් ඇය  පවසා සිටියාය. එහෙත් අදාළ මුදල් මෙතෙක් ලැබි නොමැති බවත්, මුද්‍රණාලයේ පිරිසුදු කිරීමේ කටයුතු සිදුකරන පිරිස්වලට ගෙවීමට බව සඳහන් කරමින් ඊයේ(16දා) භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියනයක මුදලක් ලැබුණ බවද සඳහන් කළාය.

අදාළ මුදලින් සිදුකළ යුතු කටයුතු පිළිබඳව නම්කර තිබෙන නිසා, වෙනත් කිසිදු කටයුත්තක් සඳහා මෙම මුදල් යොදාගත නොහැකි බවත්, ඡන්ද විමසීමට අදාළ මුදල් ලැබුණූ පසු පොලිස් ආරක්ෂාව ලබාගෙන මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බවත් පවසා සිටියාය. දැනට දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙන අතර, ඉතිරි තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ආසන්න වශයෙන් දින 07ක පමණ කාලයක් ගත වන බවද මුද්‍රණාලය සඳහන් කරයි.
ඉන්දික හේවාවිතාරණ