nsbm-student-incident

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී   නීතිඥවරයෙකුට සහ ඔහුගේ පියාට කැස්බෑව අතුරු මාර්ගයේ දි අතින් පයින් සහ යකඩ පොලුවලින් පහර දුන් බව කියන හෝමාගම පිටිපන හරිත සරසවියේ සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

පහර කෑමේන් තුවාල ලද නීතිඥවරයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් ව ඇත

නීතිඥවරයා සිය පියා සමඟ  හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයට ගොස් වැඩ කටයුතු අවසන් කර යළිත් කොළඹ පිහිටි නිවස කරා පැමිණෙමින් සිටියදී  කහතුඩුව අධිවේගී පිවිසුමට ඇතුළු වන මාර්ග සංඥා අසල කැබ් රථය නතර කර ඇතැයි පොලිසිය කියයි.



එම   අවස්ථාවේදී සැකකරුවන් පිරිස පැමිණි වෑන් රථය  කැබ් රථයට වම් පසින් නතර කර ඇති අතර ඔවුන් කැබ් රථය දෙස බලාගෙන කෑකෝ ගසමින් හැසිරී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත

කැබ්  රථය පැදවූ නීතිඥවරයා කැස්බෑව හන්දියෙන් අතුරු මාර්ගයට වාහනය  යොමුකර  කොට්ටාව මිරිස්වත්ත මාර්ගයේ මාර්ග සංඥා අසල කැබ් රථය නතර කිරීමත් සමගම   ඊට පිටුපසින් පැමිණ තිබූ වෑන් රථයේ සිටි  පිරිසෙන් රියදුරු එයින්  බැස විත් කැබ් රථයේ රියදුරු අසුන අසල වීදුරුවට පහරදී ඇති අතර  එම අවස්ථාවේදී කැබ් රථයෙන් බැසගත් නීතිඥවරයා එම පුද්ගලයාගේ ඡායාරූපයක් ජංගම දුරකථයෙන් ගැනීමට උත්සාහ දැරීමේදී  පහරදී ඇතැයි පොලිසිය කියයි

එහිදී කැබ් රථයේ සිටි නීතිඥවරයාගේ පියා එයින් බැස විත් සියපුතු බේරීම සඳහා උත්සාහ කිරීමේදී වෑන් රථයේ අනෙකුත් සැකකාර සිසුන් වෑන් රථයෙන් බැස විත් පිය පුතු දෙපලට පහරදී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

එහිදී එක්  සිසුවකු  යකඩ පොල්ලකින් පිය පුතු දෙපලට පහරදී ඇති බව ඔවුන්ගේ ප්‍රකාශයකින් අනාවරණය වී තිබිණි.



     එම  අවස්ථාවේ දී  මාර්ගයේ ගමන් ගත් සෙසු වාහන වල රියදුරන් එම ස්ථානයට පැමිණීමත්  සිසුන් පිරිස වෑන් රථයෙන් පලාගොස් තිබිණි

පලාගිය සිසුන්ගෙන් දෙදෙනෙක් පිළියන්දල මාම්පේ සහ වෑවල  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් සෙසු පිරිස පොලිසියට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවත් පොලිස් නිලධාරියකු පැවැසීය

සැකකරුවන් සියලු දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය , පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර  හරි හරි උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති පුෂ්පකුමාර  ෆර්ඩිනැන්ඩු මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ්  හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)