panagoda-camp-theft

යුද හමුදා ක්‍රීඩා ඇඳුමින් සැරසී මේජර්වරයකු ලෙස හඳුන්වා දුන් පුද්ගලයකු ඉකුත්දා පනාගොඩ යුද හමුදා කඳවුරේ පිටිපන මුර කුටියේ සෙබඵකු සන්තකේ තිබූ ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 120 ක් අඩංගු මැගසින් හතරක් සොරාගෙන යාම සම්බන්ධයෙන් හිමි නමක සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය කියයි. 

අත්අඩංගුවට ගත් හිමිනම හෝමාගම ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක රැඳී සිටින හිමිනමක බවත් පොලිසිය සඳහන්  කරයි.

සොරාගත් උණ්ඩ තිහක් අඩංගු මැගසිනයක් ඒ ආසන්නයේ බෝක්කුවක් අසල දමා ගොස් තිබියදී ඉකුත් 4 වැනිදා පොලිසිය මගින් සොයාගෙන ඇත.  මේජර්වරයකු බවට හඳුන්වා දෙමින් ඉකුත් තුන් වෙනි දින සවස 6.30 ට පමණ මුරකුටියට පැමිණ තිබූ එම පුද්ගලයා කාර්ය භාර නිලධාරීගේ නම පවසා සෙබළා ඉදිරිපිටදීම ඔහුට ඇහෙන පරිදි දුරකතන ඇමතුමක් ගෙන ‘මචං මම කොල්ල පොඩ්ඩක් කඩේට යවනවා" යැයි පවසා රුපියල් දෙසීයක් සෙබළාට දී මල්ලි ගිහින් සිගරට් එකකුයි බුලත්විටකුයි අරං වරෙන් යැයි පවසමින් '' ඕක තියලා පලයන් මම බලාගන්නම්'' යැයි පවසා ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව එම සෙබළා විසින් ඔහු සතුව තිබූ ගිනි අවිය සහ මැගසින් හතර එම පුද්ගලයාට භාර දී වෙළඳසලට ගොස් නැවත පැමිණීමේ දී එම පුද්ගලයා එම ස්ථානයේ සිට නැතැයි පොලීසිය කියයි.

ගිනි අවිය සොරාගත් පුද්ගලයා සහ එම ගිනි අවිය සොයා ගැනීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකයේ අධ්‍යක්ෂක  ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

බිමල් ශ්‍යාමන් ජයසිංහ