parevi-suda-arrested

ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන පරවි සුදා නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ  අපරාධ මෙහෙයවන ප්‍රධානතම ගෝලයා බව කියන පුද්ගලයකු ඩුබායි රටට පලා යෑමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ  සිටියදී ඊයේ (27) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසියේ උසස් නිලධාරියෙක්  පැවැසීය.

ඔහු සැබෑ නම වෙනුවට වෙනත් නමක් යොදා සකස් කර ගත් ව්‍යාජ විදෙස් ගමන් බල පත්‍රයකින් ඩුබායි රටට පලායෑමට උත්සාහ කර ඇතැයි පොලීසිය පවසයි. එම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය ද සැකකරු ළඟ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

ඩුබායි රටේ සැඟවී සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මෙහෙයවන බවට සැලකෙන පරවි සුදා නමැත්තා ඔහු එරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත. ඩුබායි රටට පලායෑමට පැමිණි අවස්ථාවේ ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ කටුනායක ඒකකයේ  පොලිස් නිලධාරීන් විසිනි.

කටුනායක ගුවන්තොටුපොළේ   දී සැකපිට අලුයම අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාට එරෙහිව රුපියල් කෝටි 50ක හෙරොයින්  මත්ද්‍රව්‍ය  ජාවාරමකට  අදාළව නඩුවක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ  විභාග වෙමින් පවතී.  එම නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28) කැඳවීමට නියමිතව ඇති අතර ඔහු ඊට පෙර රටින් පලා යෑමට උත්සාහ කර ඇති බව  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.  සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මීට වසර  ගණනාවකට ඉහතදී අත්අඩංගුවට පත්ව ඇති අතර එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.



රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගන්නා ලද  සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිසියේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට බාර දී ඇත.  ඔහුට ඩුබායි රටට පලායෑමට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමට සම්බන්ධ වුණු පුද්ගලයන් ගැන තොරතුරු  අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද රහස් පොලිසිය  පරීක්ෂණ පවත්වයි. රහස් පොලිසියේ කණ්ඩායමක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයේ කණ්ඩායමක් ඒකාබද්ධව  සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය