peradeniya-issue

විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයට ගැනෙන වරදක් සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරිවරයාට රුපියල් ලක්ෂ 65 ක මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. ඔහු වැඩ තහනමට ලක් කිරීමට හැකිව තිබියදී එසේ නොකර අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු විය.

විනය විරෝධී ක්‍රියාවක් කිරීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි, පරිවාස කාලයකට යටත් කථිකාචාර්යවරියකට 2020 වර්ෂයේ සැප්තැම්බර් මස සිට 2021 නොවැම්බර් මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ, විශ්ව විද්‍යාලයට කිසිදු සේවාවක් සපයා නොතිබියදී වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ විසිහයක් ද, අධ්‍යයන හෝ පරේශ්ෂණ කටයුතු සඳහා කිසිදු සක්‍රීය දායකත්වයක් ලබාදී නොතිබියදී අධ්‍යයන හා පරේක්ෂණ දීමනා ලෙස රුපියල් ලක්ෂ 13 ක්ද ගෙවා ඇතැයි කෝප් කමිටු විමර්ශනවලදී අනාවරණය විය. මෙම කථිකාචාර්යවරියට පසුව සමාව දී නැවත සේවයේ පිහිටුවා ඇති නමුත් ගෙවන ලද වැටුප් හා දීමනා අයකරගෙන නොතිබූ බව ද කෝප් කමිටුව සඳහන් කරයි.



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2020 සහ 21 වර්ෂවල සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා හා මූල්‍ය අවභාවිතා ගණනාවක් පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.  මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය. රජයෙන් ලබාදෙන ශිෂ්‍යත්ව වලින් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වන ආචාර්යවරුන් විශ්වවිද්‍යාලයට ගෙවිය යුතු මුදල් නොගෙවීම පිළිබඳවද මෙම කමිටුවේදී සාකච්ඡා විය.

එම හිඟ මුදල් නිසි ලෙස අයකර ගන්නැයි කමිටුව විශ්වවිද්‍යාල පාලනාධිකාරියට නියෝග කළේය. ඔවුන් විදේශ පුහුණුවෙන් පසුව අඩුම වශයෙන් වසර පහක කාලයක් මෙරට විශ්ව විද්‍යාලයන්හි සේවය කිරීම සඳහා උපදෙස් දෙන ලෙස ද කෝප් කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය. මේ අතර, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරීන් පිළිවෙළින් දහහත් දෙනකු, එකොළොස් දෙනකු සහ 13 දෙනකු 2022 සහ 23 වර්ෂවල එම විශ්වවිද්‍යාලයේදී පවත්වන ලද 98, 99, 100 වැනි විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් සඳහා සහභාගීවීම පැහැර හැර සිය මූල්‍ය වගකීම සහ කාර්යභාරය හිතාමතා පැහැර හැර ඇති බව විගණන වාර්තාවේ දැක්වෙන්නේ යැයි කෝප් කමිටුව පවසයි. මේ අතර, පැමිණීම හා පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් තහවුරු නොකර 2021 සහ 22 වර්ෂවලදී රුපියල් ලක්ෂ 63 ක පමණ වැටුප් හා දීමනා ගෙවා ඇතැයි කෝප් කමිටුවට තොරතුරු අනාවරණය විය.

වෙනත් තනතුරක් සඳහා මුදාහැර සිටි මහාචාර්යවරයකුට, එම කාලය තුළම සප්ත වාර්ෂික නිවාඩු ලබාදී සියලු දීමනා සහිතව වැටුප් ලබාදීම පිළිබඳව මූලික පරීක්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගැනීම හා මෙවැනි සිද්ධී නැවත ඇතිවීම වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කමිටුව නිර්දේශ කළේය.

මහාචාර්යවරයාගෙන් අය කළ යුතු රුපියල් ලක්ෂ 22 ක පමණ මුදලක් මෙතෙක් අය කරගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මේ දක්වාම කාරක සභාවට ඉදිරිපත් කර නැතැයිද සඳහන් විය. විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා විශ්වවිද්‍යාල අරමුදලට පරිබාහිරව හා අනුමැතියකින් තොරව විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංගමය නමින් පේරාදෙණිය මහජන බැංකු ශාඛාවේ ඉතිරි කිරීම් ගිණුමක් ආරම්භ කර, 2019 වර්ෂයේ ජුනි දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ තිස් දෙකකට වැඩි මුදලක් බැර කර තිබූ බවත්, එම මුදල් විශ්ව විද්‍යාල අරමුදලට බැර කිරීමකින් තොරව අයථා ලෙස පරිහරණය කර තිබූ බවත් විගණන විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම මුදල මෙතෙක් අය කරගෙන නැතැයිද කියති.කිසිදු අන්තර් පරේක්ෂණ වාර්තාවක් හෝ අවසන් පරේක්ෂණ වාර්තාවක් හෝ ලබාගැනීමකින් තොරව අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පනස් නව දෙනකු සඳහා 2014 නොවැම්බර් පළවැනිදා සිට 2022 අගෝස්තු 31 වැනි දක්වා කාලසීමාව තුළ රුපියල් අට කෝටියක පමණ මුදලක් පර්යේෂණ කළමනාකරණ කමිටු අනුමැතියකින් තොරව පරේක්ෂණ දීමනා ලෙස ගෙවා තිබූ බව ද හෙළිදරව් වී ඇත. ශාස්ත්‍ර පීඨයේ භෝජනාගාරය සහ ඒ අවට සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීම සඳහා 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ නිශ්චිත ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව රුපියල් ලක්ෂ 11 ක් ගෙවා තිබූ බව ද විගණන වාර්තාවේ දැක්වේ. විශ්වවිද්‍යාලයේ රාජකාරි ආවරණය කිරීමේ පදනමෙන් පත්කර සිටි නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාවේ චක්‍රලේඛයට පටහැනිව 2021 ජනවාරි සිට 2023 පෙබරවාරි දක්වා ඉන්ධන හා ප්‍රවාහන දීමනා ලෙස රුපියල් ලක්ෂ 13ක් ද විනෝදාස්වාද දීමනා ලෙස රුපියල් 2,70,000 ක්ද ගෙවා ඇතැයි කෝප් කමිටුව පවසයි.
අංජුල මහික වීරරත්න