peradeniya-mental-health

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨවලට ඇතුළත් කරගන්නා  නවක සිසුන් මින් ඉදිරියට මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාරිය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය. මේ වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සහ කළමනාකරණ පීඨයට සිසුන් ඇතුළත් කරගෙන ඇති බවත්, එම සිසුන් සම්බන්ධයෙන් සිදුකළ මානසික වෛද්‍ය පරීක්ෂණයේදී ඔවුන් අතරින් 05%ක ප්‍රමාණයක් මානසික ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ සිටින බවත් මහාචාරියවරයා පැවැසීය. ඔහු මෙම අදහස් පළ කර සිටියේ පෙරේදා (12දා) සවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතාගේ  ප්‍රධානත්වයෙන් සනාථන මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.



විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නා සිසුන් සියලු දෙනා මේ වනවිට කායික යෝග්‍යතා පරීක්ෂණයකට ලක්කරන බවත්, මීට අමතරව සිදු කරන මෙම මානසික වෛද්‍ය පරීක්ෂණය තුළින් සිසුන්ගේ මානසික ප්‍රශ්න හදුනාගැනීම සිදුකරන බවත් නියෝජ්‍ය උපකුලපතිවරයා පැවසීය. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් කිහිපදෙනකු සියදිවි නසාගැනීම සම්බන්ධව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවද නියෝජ්‍ය උපකුලපතිවරයා පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාරිය එම්.ඩී. ළමාවංශ මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 13,000ක් වන සිසුන් අතුරෙන් කලහකාරි ලෙස හැසිරෙන සිසුන් 10-15ක් සොයා ගැනීම අපහසු නොවන බවත්, සිසුන් යහමගට  පැමිණියද සමහර සිසුන් නැවතත් වැරදි මාර්ගවලට යොමු වන්නේ බාහිර බලපෑම් නිසා බවත්ය.  ලොව පිළිගත් උසස් අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූලව පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ විෂය මාලා ක්‍රියාත්මක වන බවත්,

එම පාඨමාලා හේතුවෙන් සිසුන් මානසික ගැටලුවලට බදුන්වීමට හේතු වන්නේ නැතැයි අවධාරණය කළ උපකුලපතිවරයා පසුගිය වසංගත තත්ත්වය හේතුවෙන් වසර දෙකක කාලයක් පාඨමාලා අහිමි වූ සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනයෙන් මිදී භෞතික අධ්‍යාපනයට යොමු වූ පසු මෙම ව්‍යාකූල තත්ත්වය ඇතිවිය හැකි බවට අනුමාන කරන බවද ළමාවංශ මහතා පැවසීය. සිසුන්ගේ මානසික තත්ත්වය යහපත් මට්ටමකට ගෙන ඒම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට අමතරව ක්‍රීඩා, කලා හා සංස්කෘතික කටයුතු ආදිය වෙතද ඔවුන් යොමු කරවන බවද උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසීය

 ෂේන් සෙනෙවිරත්න