මෙරට ඉන්ධන පිරවුම්හල් 600කට අධික ප්‍රමාණයක් පිටරට සමාගම් හතරකට ලබාදීමට ආණ්ඩුව කටයුතු කිරීමට එරෙහිව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලීකරණය කිරීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය ප්රමුඛ වෘත්තීය සමිති රැසක සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ [ 27 ] උදෑසන උපවාසයක් පැවැත්විණි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව පර්යන්තයේදී මෙම වෘත්තීය සමිති සාමාජිකයන් පිරිස ඊයේ උදෑසන 07 ට උපවාසය ආරම්භ කළේය. මෙම වසරේ ආණ්ඩුව සිදුකරන්නට යන දූෂිතම සහ නින්දිතම ගනුදෙනුවට එරෙහි වෙමින් ඛනිජ තෙල් සේවකයන් උපවාසයේ යෙදුණ බව ඔවුහු පැවසූහ.
ආණ්ඩුව තවදුරටත් සිටින්නේ ඛනිජ තෙල් සම්පත් විකුණමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ අරමුණෙන්නම් හයදහසකට ආසන්න ඛනිජ තෙල් සේවකයන් උපවාසයෙන් නොනැවතී ඉදිරියේදී අඛණ්ඩව සත්‍යග්‍රහයක් දක්වා ගමන් කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම ජාතීද්‍රෝහී ක්‍රියාව පරාජය කරන්නට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊයේ උදෑසන සිට උපවාසයකින් විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළ බවත් මෙවැනි දූෂිත ගනුදෙනුවලින් කිසිම ඩොලරයක් ආණ්ඩුවට නොලැබෙන බවත් මේ සම්බන්ධයෙන් ඉතාමත් නුදුරේදීම කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බවත් ඔහු පවසා සිටියේය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාව පසුගිය ජනවාරි මාසයේදී රුපියල් කෝටි 1300 ක ලාභයක් ද පෙබරවාරි මාසයේ රුපියල් කෝටි 900 ක ලාභයක්ද ලැබූ බවය. එලෙස තිබියදී පාඩු ලබන බව පවසමින් ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමට රජය කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් සංස්ථාව සතු කොටස් විකිණීමට කිසිසේත්ම සේවකයන් ලෙස ඉඩ ලබා නොදෙන බව ඔහු කියා සිටියේය.
ඉන්දියන් ඔයිල් නම් සමාගමකට උතුරු නැගෙනහිර පළාතේ ඉන්ධන බෙදාහැරීමට ඉඩකඩ ලබාදීමට ඛනිජ තෙල් ඇමැති ප්රමුඛ රජය මේ වන විට සූදානමින් සිටින බවත් ඒ ආකාරයට රටේම තෙල් අධිකාරිය වෙනත් රටක සමාගමක් තීරණය කරන තැනට පත්වුණොත් ඒ ඒ රටවලට අභිමතයට අනුව ඉන්ධන මිලද වෙනස් වනු ඇති බව එම සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම මෙම සමාගමට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබාදීමට ද ආණ්ඩුව කටයුතු කරන බවට දැනගැනීමට ලැබී ඇති අතර අවසානයේ සිදුවන්නේ මෙරට සියලුම සම්පත් ඈවරයි දෑවරයි තුන්ඈවරයි ලෙස වෙනත් රටවලට සින්න වීම බවද මෙහිදී ඔහු පැවසීය.
අශිකා ජයවීර
ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
0 Comments