pitipana-school-teacher-arrested

හෝමාගම, පිටිපන කනිටු විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නව හැවිරිදි දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පන්ති භාර ගුරුවරියක අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. නව හැවිරිදි දැරියකට ඉකුත් 23 දා පාසලේදී ගුරුවරිය විසින් පහර දී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැරිය නිවසට පැමිණීමෙන් පසුව මව දැනුවත් කර තිබේ.

පසුව මව මේ පිළිබඳ හෝමාගම මූලස්ථාන  පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කර තිබූ අතර පහර කෑමට ලක් වූ බව පැවසෙන නව හැවිරිදි දැරිය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලදී.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව දැරිය පහරකෑමට ලක්ව ඇති බව අනාවරණය වීමත් සමඟ පහර දුන් බව පැවසෙන සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ. සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ  දැරියට නිවසේදී කර ගෙන එන ලෙස පැවරූ  අධ්‍යයන කටයුතු පැහැර හැරීම දඬුවමට හේතුව බවයි.  අත්අඩංගුවට ගත් පනාගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර ගුරුවරිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂක අජන්තා මහත්මියගේ මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මකය.
 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න