police-kiribathgoda

මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකගේ උප්පැන්න සහතිකයකින් ජාතික හැදුනුම්පතක් සකස් කර, කාන්තාවක විදෙස්ගත කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දී ආගාමික විගාමික පනතේ වරදක් සිදු  කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඊයේ (14) නියෝග කළේය.   මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ,  නො. 181, දේවාල පාර, මාකොල, කිරිබත්ගොඩ පදිංචි පොලිස් කොස්තාපල් (89368) සෙනරත් රත්නායක රොෂාන් දිල්රුක් නමැත්තාය.



2009 වර්ෂයේ පැවැති මානුෂීය මෙහෙයුමේදී අතුරුදන් වූ රාසයියා අයීෂා නමැති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල සාමාජිකාවකගේ උප්පැන්න සහතිකය ලබාගෙන, එමගින් ජාතික හැඳුනුම්පතක් සහ තවත් කූඨ ලේඛන සකස් කරමින්, කරුපයියා සෙල්ව කාන්ති නමැත්තිය විදෙස්ගත කිරීමට අධාර අනුබල දුන්නැයි මෙම පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. සිද්ධියේ කරුපයියා සෙල්ව කාන්ති නමැත්තිය විදෙස්ගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තම දෙපාර්තමේන්තුවට බාරදුන් බවත්, පසුව එම තැනැත්තිය මෙම නඩුවේ පළමු සැකකාරිය ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර තිබේ.



එම සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේදී ඇයට විදෙස්ගත වීමට ආධාර අනුබල ලබාදුන් තවත්  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පොලිස් කොස්තාපල්වරයා සිවුවැනි සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. මෙම සැකකරුවන් ආගාමික විගාමික පනතේ වරදවල් සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර  තිබිණි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
නිමන්ති රණසිංහ