පසුගියදා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අවසන්වූ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාටකයේ ප්‍රේක්ෂක හිත් ගත් ‘මනී’ලෙස රඟපෑ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රදීප් රාමවික්‍රම පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ අදහස් දක්වා තිබේ.
අවුරුදු පහකට පස්සේ තමයි ටෙලි නාට්‍යය පැත්තෙන් වැඩක් භාරගත්තේ. මීට කලින් මීදුම් අම්මා.
කිරිකවඩි වගේ ටෙලි නාට්‍යවල වැඩ කරලා තියෙනවා. මම සාමාන්‍යයෙන් එළියට එන චරිතයක්
නෙමෙයි. මට මෙගා නාට්‍යවලට හරියට කතාකරනවා. නමුත් මම මෙගා නාට්‍ය විරෝධියෙක්. මම
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්, ඇක්ටර් ට්‍රේනර් කෙනෙක් විදිහට වැඩ කරනකොට ඒ වගේ වැඩ
භාරගන්න බැහැ. ඒ වගේ වැඩවල වැඩ කරලා ඇවිල්ලා කොන්දක් තියන් ආපහු ළමයි එක්ක වැඩ කරන්න බැහැ.
‘මනී’ ගත්තාම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. අවංක සිතින් නිහතමානීව ඒ ප්‍රතිචාර
භාරගන්නවා.
මම සාමාන්‍ය පවුලක දරුවෙක්. මම ඉගෙනගන්න සමයේදී තනියම සල්ලි හොයාගෙන ආපු කොල්ලෙක්. බොරු කියන්න ඕනෙ නෑ. මමත් කොළඹ ඇවිල්ලා නීලගිරි හෝටලයේ අවුරුද්දක් විතර වැඩ කළා. උසස් පෙළ ලියලා ප්‍රැක්ටිකල් එකට සිලෙක්ට් වුණාට පස්සේ තමයි කොළඹ ආවේ. ඒ කාලේ මාව කවුරුවත් දන්නේ නෑ. මහේන්ද්‍ර සර්ගේ වර්ක් ෂොප් එකට එන්න තියෙන ආසාවට තමයි කොළඹ ආවේ.
නීලගිරි හෝටලයෙන් පස්සේ රෙදි කඩවල හාඩ්වෙයාර්වල වැඩ කරමින් තමයි මහේන්ද්‍ර සර්ගේ ක්ලාස් ගියේ. මුලින් මාව සර් සත පහකට ගණන් ගත්තේ නෑ. මාව අඳුරන්නෙවත් නෑ. වැඩ කරගෙන යද්දී එයාට මාව දැනුණා. ඊට පස්සේ සර් මාව ඉංග්‍රීසි පන්තියකට දැම්මා. එයාගේ දරුවෙකුට වගේ සලකන්න ගන්නවා.
මහේන්ද්‍ර පෙරේරා සර් තමයි ප්‍රසන්න ජයකොඩි මහත්මයාට මාව යෝජනා කරලා තිබුණේ. පස්සේ සර්
මාව ප්‍රසන්න අයියාට මුණගැස්සුවා. ප්‍රසන්න අයියා මාව ගොඩක් ඉන්ටර්විව් කළා.
චරිතයට මාව
තෝරගෙන ගොඩක් දේවල් කතාකරලා තමයි අපි වැඩේ පටන් ගත්තේ. පිටපත සම්බන්ධයෙන් මගේ ඔළුවට
ගොඩක් දේවල් ඔහු දැම්මා. ඉස්සර වෙලාම ප්‍රසන්න අයියා මාව කියෙව්වා. ඊට පස්සේ තමයි මට
චරිතය කියවන්න දුන්නේ. මනී වටා ගෙතුන කතාවේ බොහෝ දේවල් මගේ පෞද්ගලික ජීවිතේ
වටාත් ගෙතිලා තිබුණ නිසා ‘මනී’ ව මට විශේෂ වෙන්න ලොකු හේතුවක් වුණා.
මොකද මගේ ජීවිතේ ඇතුළෙන් මම ගෙනාවේ ‘මනී’ වගේ චරිතයක්. පොඩි කාලේ ඉඳලා මගේ අම්මා
හිටියේ රට. තාත්තා කළේ ගොවිතැන්. පවුලේ නංගිලා දෙන්නයි අයියයි. එයාලා කසාද බඳින තැන,
නංගිලා වැඩිවියට පත්වෙන තැන ඉඳලා පවුලේ මධ්‍යස්ථයා වුණේ මම. වගකීම් එක්ක ජීවිතේ ගෙවුන
කෙනෙක් විදිහට මට මනීව මගේ ජීවිතේ විදිහට පේන්න ගත්තා. පොඩි කාලේ ඉඳලා මම හැදුනේ වැඩුනේ
ගෙදරින් පිට. මේ වගේ මගේ ජීවිතේ ගොඩක් දේවල් එක්ක මනී චරිතයටත් සමීප බවක් දැණුනා. ඇත්තම
කියනව නම් මනීව කියවගන්න මගේ ජීවිතේ ගොඩක් දේවල් බලපෑවා. මේ කතාවට පාදක වෙලා
තියෙන්නේ මිනිස්සු කතා කරන්න අකමැති එළිපිට කතා කරන්න ලැජ්ජයි කියලා හිතන මාතෘකාවක්.
මං ඉස්කෝලේ කාලේ ඉඳලා නළු පිස්සුව කියන එක තිබුණා. මගේ ගම මාතර. අධ්‍යාපනය හැදෑරුවේ
මාතර ඕල්කට් කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ මාතර සෙන් තෝමස් විද්‍යාලයෙන්. එක කාලෙක ජයලත්
මනෝරත්න සර්ගේ ටෙලි නාට්‍යයක් ගියා ‘මගේ කවිය මට දෙන්න’ කියලා. ඒ නාට්‍යයේ මහේන්ද්‍ර
සර්ගේ රංගනයට මාව පිස්සු වැටුණා. රඟපානවා කියන එක ඇතුළේ ඊට වඩා ලොකු දෙයක් තියෙනවා
කියලා සර්ගේ රංගනය දැකලා මට හිතුණා. ඒ නාට්‍යයේ මහේන්ද්‍ර සර් කළේ අභිරූපණය සම්බන්ධ
චරිතයක්. ඒක දැක්කම කවදා හරි කොළඹ ඇවිල්ලා මහේන්ද්‍ර සර්ව මුණගැහෙන්න ඕන කියලා හිතාගත්තා.
මම 4 පන්තියේ ඉඳලම සරසවිය පුවත්පත කියවනවා. කලාව ගැන තොරතුරු සොයන්න තියෙන ආසාවට තමයි
ගන්නේ. ‘මගේ කවිය මට දෙන්න’ ටෙලියෙන් පස්සේ මහේන්ද්‍ර සර්ව සොයාගෙන කොළඹ එන්න ලොකු උණක්
මට තිබුණා. ඒක පිස්සුවක්. මම A/L කරපු දවසට පහුවෙනිදාම මහේන්ද්‍ර සර්ගේ වැඩමුළුව සොයාගෙන
කොළඹ ආවා. ඉගෙන ගන්න ආසයි ඒත් අතේ සල්ලි නෑ. ඒ ගමන අතිශය දුෂ්කරයි. මහේන්ද්‍ර සර්ගේ වර්ක්
ෂොප් එකට එන්න තියෙන ආසාවටමයි මම කොළඹ ආවේ. මහේන්ද්‍ර සර්ගේ ක්ලාස් එකට යන්න සල්ලි
හොයාගන්න හෝටල්වල, රෙදිකඩවල, හාඩ්වෙයාර්වල වැඩ කළා, මාස ගාණක්. දැන් වැඩමුළුවට ආවත්
සර් මාව අඳුරන්නෙවත් නැහැ. මහේන්ද්‍ර සර් මාව සත පහකටවත් ගණන් ගත්තේ නැහැ. පස්සේ පස්සේ
මම දිහා බලනවා. මාව එයට දැනෙනවා කියලා මට දැණුනා. දවසක් දෙකක් කතා කරා. ඊට පස්සේ
මාව සර් එක්ක ගිහින් ඉංග්‍රීසි පන්තියට දැම්මා. ඇයි එහෙම කරන්නේ කියලා මටත් පුදුම හිතුණා.
කැම්පස් යන්න කලින් අවුරුදු 3 ක් විතර එකදිගටම සර් ළඟ මම ඉගෙන ගත්තා. නිර්මාණය ඇතුළේ විවිධ
ඉසව්වල අවුරුදු ගාණක් මම වැඩ කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ඉවර කරලා විදෙස් රටවලත්
ඉගෙන ගත්තා. ඊට පස්සේ මට ඇමතුමක් එනවා සර්ගෙන්, ඇවිල්ලා මගේ ඇකඩමියේ දරුවන්ට නාට්‍යය
උගන්වන්න කියලා. ඒ විදිහට ජීවිතේ ගොඩක් දේවල් වෙන්න සහ වෙනස් කරපු එකම කෙනා මහේන්ද්‍ර සර්.
මගේ ජීවිතේ දෙවෙනි තාත්තා වුණේ මහේන්ද්‍ර සර්.
මහේන්ද්‍ර සර් එක්ක මම මේ ටෙලියේ රඟපාන්නේ පළමු වතාවට. ඔහු සමග වසර 15 ක් එක දිගට වැඩ
කළත් ඔහු සමග එකට තිරයක හමුවන පළමු අවස්ථාව. ඒක මගේ ජීවිතේට විශිෂ්ට අත්දැකීමක්.
සාකච්ඡා සටහන - නදීශා අතුකෝරළ
0 Comments