prof-priyanga-dunusinghe-speaks

රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකින් ස්ථාවර වී තිබුණද රට හමුවේ ඇති ආර්ථික අභියෝග කිසිවක් විසඳී නොමැත. මේ වන විට රුපියල සුළු ප්‍රමාණයකින් ශක්තිමත් වී ඇති අතර, පෙර මාසවලට වඩා උද්ධමනය අඩු වී ඇත. එසේ වුවද තවමත් උද්ධමනය ඉහළ අගයක ඇති බැවින්, ජනජීවිතයට විවිධ බාධා ඇති කරමින් තිබේ. රටේ පවතින මෙවැනි තත්ත්වයන් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව කෙරෙහි සුබවාදී ප්‍රතිචාර පළකර තිබේ. මෙම සියලු තත්ත්වයන් හමුවේ රටේ ආර්ථිකයේ ඉදිරිය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සමග සාකච්ඡා කළෙමු.



රට තුළ ක්‍රියාත්මක කරන බදු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සුබවාදී ප්‍රතිචාර දක්වා තිඛෙනවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

මේ වන විට රජයේ ආදායම වගේ තුන් ගුණයක් වියදම වෙලා තිබෙනවා. එදිනෙදා කරන්න තිබෙන වියදම් ආදායම වගේ දෙගුණයක් වී තිබෙනවා. ණය සහ පොලිය ගෙවීම් රජයේ ආදායමෙන් 75%ට වැඩියි. මේ තත්ත්වය තුළ මේ බදු ආදායමෙන් රජ්ය පවත්වාගෙන යන්නත් අමාරුයි. එහෙම කියලා වියදම් කප්පාදු කරන්නත් බැරි තත්ත්වයකට රට පත්වෙලා ඉන්නේ. මේ තත්ත්වය තුළ අපිට මහ බැංකුවේ ප්‍රතිපත්ති සමග එකග වෙන්න වෙනවා. නමුත් ප්‍රධානම ගැටලුව වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇති අකාරයටම රජයට කටයුතු කරන්න ලැබිලා නැතිකම. පහසුවෙන් බදු   වැඩි කරන්න පුළුවන් තැන්වල රජය බදු වැඩිකරලා තිබෙනවා. එමගින් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් පමණක් බඳුවලට ඇතුළත් වී තිබෙනවා. නමුත් විශාල පිරිසක් බදු දැලෙන් පැතලා ඉන්නවා. අවිධිමත් අංශයේ විවිධාකාරයේ ව්‍යාපාර කරන, ඒ වගේම අනිකුත් අංශවලින් ව්‍යාපාර කරන පුද්ගලයන් බදු දැලෙන් ඉවත්ව සිටිනවා.

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරියට කියලා තියෙනවා. නමුත් ඒ ආකාරයට ආණ්ඩුව ක්‍රියාත්මක වෙලා නැහැ. මේ නිසා රජය ඉදිරි කාලයේදීවත් මෙය නිවැරදිව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මොකද බදු දැලෙන් පිරිසක් පැනලා ඉන්න නිසා බදු ගෙවන පිරිස මත බදු බර වැඩිවෙලා තිබෙනවා. ඇත්තටම මේ තත්ත්වය මෙහෙම වෙලා තියෙන්නේ බදු එකතු කරන ආයතනවල තිඛෙන හොරකම් වංචා, දූෂණ නිසා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි බදු එකතු කරන යාන්ත්‍රණ විශාල වශයෙන් දූෂිත වෙලා තිඛෙනවා. ආදායම් ගෙවිය යුතු පිරිස ඉලක්කගත කරලා මේ අය අල්ලන්නේ නැහැ. එහෙම ඇල්ලුවත් අත යට මුදලට ඔවුන්ව බදු දැලෙන් ඉවත් කරනවා.

ඒ වගේම බදු තක්සේරුකරුවෝ ඔවුන්ගේ කාර්ය හරියට කරන්නේ නැහැ. ඔවුන් මුදලට යටවෙලා කටයුතු කරනවා. ඒ වගේම දේශපාලඥයෝ ව්‍යාපාරිකයන්ගෙන් විවිධාකාරයෙන් ප්‍රතිලාභ ලබනවා. මේ නිසා නිවැරදි බදු ප්‍රතිපත්තියක් ගෙනියන්න බැරිවෙලා තිඛෙනවා. නිවැරදි බඳු යාන්ත්‍රණයක් ඇති කිරීම ඉක්මනින්ම සිදුවිය යුතුයි. එතැනදි විශාලම කාර්යභාරයක් තිබෙන්නේ දේශපාලඥයාට නෙවෙයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට. ඒ මිනිස්සු තමන්ගේ රාජකාරිය හරියට කරන්නෙ නැති නිසා තමයි මේ ප්‍රශ්නය තිබෙන්නේ.

මේ වෙනුවෙන් සිදුකළ යුතු වෙනස්කම් ලෙස ඔබ දකින්නේ මොනවාද?

මෙහිදී බදු ගෙවිය යුතු පුද්ගලයන් හදුනාගැනීමට රජය සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන් හරියාකාරව හඳුනාගැනීමෙන් පසුව එය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම වංචා, දූෂණයට අදාළ දැඩි නීතිරිති සකස්කර ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම බදුවලට අදාළ නීති සකස් විය යුතුයි. බදු පැහැර  හැරීම, බදු අවතක්සේරු කිරීම, තක්සේරු කිරීම ආදී නීතිරීති හඳුන්වාදීම වැදගත්. ඒ වගේම සාමාන්‍යයෙන් රජයන් බදු අයකරන්න කැමති නැහැ. මොකද එය දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන නිසා. ඒ වෙනුවට කරන්නේ ණය අරගෙන අවශ්‍ය කටයුතු සිදුකරන්න යාම. අර්බුදයේ ආරම්භය වන්නේ එතැන.

මේ නිසා මහ බැංකුව ස්වාධීන ආයතනයක් කර තිබෙනවා වගේම මූල්‍යමය කටයුතු සම්බන්ධ තොරතුරුත් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි කියා මම සිතනවා. උදාහරණයක් ලෙස බදු ආදායම පවත්වාගෙන යන ප්‍රතිශතය ව්‍යවස්ථාව මගින්ම සඳහන් කර තිබිය යුතුයි. එවිට කුමන රජයක් ආවත් ඒ දේවල් ක්‍රියාත්මක කරන්න රජයන් බැඳී සිටිනවා. මොන රජය ආවත් බදු අය කරන්න ඕනේ. ඒ වගේම බදු මුදල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපිට යම් විනයන් ඇති කරන්න පුළුවන් වේවි.


මේ වන විට රට යම් ආකාරයට ස්ථාවර වෙමින් පවතින තත්ත්වයක් පෙන්නුම් කරනවා මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

ඕනෑම ආර්ථිකයක් කඩා වැටුණහම එය යළි යථා තත්ත්වයට පත්වීමට හේතු දෙකක් බලපානවා. එකක් ප්‍රතිපත්තිමය මැදිහත්වීම අනෙක කඩා වැටීම තුළින්ම ඇති කරන යම් යම් ධනාත්මක තත්ත්වයන් ඇතිවෙනවා. වර්තමානයේ අපි අත්දකින දේවල් මේ තත්ත්වයන් දෙක නිසාම ඇතිකර තිබෙන දේවල් වෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් මෑතකදී රජය ගත්තු පියවර ඉතාම සාධනීයයි. විදුලි මිල වැඩි කිරීම, ගෑස් මිල වැඩි කිරීම, ඛනිප් තෙල් මිල වැඩි කිරීම, බදු අයකිරීම රාජ්‍ය වියදම් අවම කිරීම මේ සියලු දේ සාධනීය පියවර ලෙස දක්වන්න පුළුවන්. මෙහෙම කරන්නේ නැතිව රජ්යට ක්‍රියාත්මක වෙන්න බැහැ. මේ අර්බුදය තවදුරටත් වැඩි නොවෙන්ත නම් එවැනි පියවරගත යුතුමයි. මොනතරම් උද්ඝෝෂණ හා අභියෝග මධ්‍යයේ වුවත් එම පියවර ගැනීම ඉතාම කාලෝචිතයි. ඒ තුළ මේ අර්බුදය තවදුරටත් තීව්‍ර වීම වැළකුණා. නමුත් මේ ගත්තු පියවර කෙටිකාලීන පියවර. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ණය පහසුකම ලබාගැනීමට සුදුසුකම් ලැබීමට ගත් පියවරයන්. අර්බුදය වැඩි වීම නැවැත්වීමට මෙවැනි පියවර හේතු උනත්, රටේ ආර්ථිකය ඔසවා තබන්නට මෙවැනි පියවර හේතුවෙන්නේ නැහැ.

මෙතැනින් එහාට ගිය සුවිශේෂී මැදිහත්වීම් අවශ්‍ය වෙනවා. ආර්ථික වර්ධනය ඇතිකර ගන්න නම් රජ්යට පැහැදිලි සාර්ව ආර්ථික සැලැස්මක් තිබිය යුතුයි.  මේ වනතුරු එවැන්නක් ඉදිරිපත්  කරලා නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතාවයකට පැමිණීමෙන් පසුව එම සැලැස්ම රටට ඉදිරිපත් කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. කොහොම වඩාත් මේ ගෙන තිබෙන පියවර සාධනීයයි. එතැනින් එහාට ගමන වේගවත් කරන්න නම් පැහැදිලි ආර්ථික වැඩසටහනක් රජ්ය ඉදිරිපත් කළ යුතු වෙනවා.


මූල්‍ය අරමුදලේ තිබෙන ප්‍රතිචාර සමග රටේ ඉදිරිය කෙසේ වනු ඇතිද?

ආර්ථික වශයෙන් රටවල් ගැටලුවලට මුහුණදීමේදී ඒ සඳහා මැදිහත්වෙන යාන්ත්‍රණයක් ලෙස තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවන්නේ, එය මූලික වශයෙන්ම ණය ලබාදෙන්නේ ආර්ථික අර්බුදතා විසඳාගන්න. ලංකාව මීට පෙර අවස්ථා 16ක් මූල්‍ය අරමුදල සමග කටයුතු කරලා තිබෙනවා. මෙවරත් මූල්‍ය අරමුදල ලබාදුන් කොන්දේසි රජ්ය විසින් ඉටුකර තිඛෙනවා. එහිදී ණය තිරසරභාවය පිළිබඳව සහතිකය ඉතා ඉක්මනින් ලබාගැනීමට හැකි වේවි කියා අපි හිතනවා. මොකද චීනය මේ සම්බන්ධයෙන් දැන් ඔවුන්ගේ ස්ථාවරය දැනුම් දී තිබෙන නිසා, ණය තිරසරභාවය කියන්නේ රටක කටයුතු පවත්වාගෙන යමින් ණය ගෙවීමට හැකියාව ලැබෙන මට්ටම දක්වා ණය පහළ දැමීම. චීනය අත්හිටවු ණය පහසුකමක් ලබාදුන්නා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. ඒ තමයි ලංකාවට සහයෝගය දීමට ඔවුන් එකගතාවය පළකර තිබෙනවා.

ඒ කොහොම වුණත් ලංකාවට අවශ්‍ය වෙනස්ම ආර්ථික මොඩලයක් ඇති කිරීමට එය ඉතාම වැදගත්.


දරුණු ආර්ථික තත්ත්වයක සිටින අවස්ථාවේදී ජනතාවගේ මැදිහත් වීම විය යුත්තේ  කෙසේද?

ඉතාමත් වැදගත් කාරණය එයයි. මොකද මේ අර්බුදයට ජනතාවක් වගකිවයුතු බව ජනතාව තේරුම්ගන්න අවශ්‍යයි. මෙය හුදෙක් දේශපාලඥයන් හෝ නිලධාරීන් මත පටවලා අත පිහදාගැනීම යුක්තිසහගත නැහැ. අඩු වැඩි වශයෙන් මේ සමාජයේ සියලුමදෙනා මේ අර්බුදයට හවුල්කරුවෝ සහ වින්දිතයෝ. ඒ නිසා එය තේරුම්ගෙන අපි සියලුදෙනා මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය දේශපාලන සාමාජීය සහයෝගය ලබාදිය යුතුයි. අපි දැන් ඉන්නේ එවැනි අවස්ථාවක. ඒ වෙනුවට දේශපාලන කලකෝලාහල වැඩවර්ජන කිරීම තුළින් මේ අර්බුදය වඩාත් තීව්‍ර වෙනවා. එසේ තීව්‍ර වුණාම සමාජයේ බැම් ගණනාවක් කැඩී විසි වී යයි. හොරකම, වංචා, දූෂණ මැරකම් ගැටුම් වැඩි වේවි. මේවායේ සීමාව පැන්නොත් ආපහු රට යථා තත්ත්වය ගැනීම හරිම අපහසුයි. ඒ නිසා මෙහි නරක පැත්ත පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්.

යම් ආකාරයකින් සමාජය අස්ථාවර වුණොත් රට අරාජික වෙනවා. ඒ නිසා මහජනතාවට, දේශපාලන පක්ෂ මේ සියල්ලටම මේ අවස්ථාවේදී යුතුකමක් තිබෙනවා, ඡන්ද ඉල්ලනවා වෙනුවට පැහැදිලිවම ආර්ථික අර්බුදයෙන් ගැලවීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට. ඒ වගේම වෘත්තිකයෝ නිරන්තරයෙන් පෙළපාළි යමින් බදුවලට විරුද්ධව කටයුතු කිරීම තුළ යම් ධනාත්මක තත්ත්වයක් ඇතිකරයි කියලා මම හිතන්නේ නැහැ. රට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔවුනුත් අවධානය යොමුකරන්න අවශ්‍යයයි. ඒ වගේම ඊට සමගාමී බදු අයකිරීම සම්බන්ධයෙන් රජ්ය සාධාරණ වීමත් අවශ්‍යයි. රට අද වැටී තිබෙන තත්ත්වයට අපි සියලුදෙනා වග කිවයුතුයි. ඒ නිසා රට යළි යථා තත්ත්වයට පත්කිරීමටත් අපි සියලුදෙනා සහයෝගය ලබාදිය යුතුයි.


 චාමර සම්පත්