rathnapura-sachini-death

රත්නපුර උඩනිරිඇල්ල ප්‍රදේශයේදී පසුගිය 27 වනදා අවාසනාවන්ත ලෙස ඇළමාර්ගයක තිබියදී සොයාගත්  සචිනි ජිනාදරී නමැති ජ’පුර සරසවියේ උපාධිධාරිනි තරුණියගේ මළසිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සහ අදාළ පොලිස් පරීක්ෂණයේ තවත් තොරතුරු දැන් නිකුත්ව තිබේ.
එම තොරතුරු වලට අනුව උදෑසන වැඩට යද්දී අතුරුදන්වූ ඇය නිවසේ සිට මීටර් 200 ක් පමණ ඈතින් ආසන්න ඇළ මාර්ගයේදී මියගොස් තිබී හමුවීම තවම ප්‍රහේලිකාවක් බවට පත්ව තිබේ. ඇයට කිසිදු ආකාරයක අතවරයක් සිදුවී ඇතිද යන්න ගැන පරීක්ෂණය සෘණාත්මකවී ඇති අතර
මෙය ස්වභාවික මරණයක්ද එසේත් නැතිනම් ඝාතනයක් ද යන්න තවම පැහැදිලි නැත.


ඇයගේ සිරුර හමුවන විට එහි එක් කොටසක් කබරයෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ අතර හමුවූයේ සිරුරේ එක් කොටසකි.
 පොලිසිය මුලින් කළ නිරීක්ෂණ අනුව ඇයව ගිල්වා මරා දමා ඇති ආකාරයක් දක්නට ලැබුණු අතර ඇයගේ ජංගම දුරකතනයද අතුරුදහන්ව තිබිණි.
මෙම මරණය සිදුව තිබූ ස්ථානයට පැමිණි රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් සුමිත් ආනන්ද ස්ථානීය පරීක්ෂණයක් සිදුකර මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යැවීමට කටයුතු කළේය. මේ අනුව ඊයේ (28දා) රත්නපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත කුඩාගම විසින් මෙම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙමින් මරණකාරියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියෝග කළේය.
මෙම මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ කළ නොහැකි බවත් , ශරීරයේ තැලීමක්, ගෙල සිර කිරීමක් හෝ අතවරයක් සිදුව නැති බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන සචිනි උපාධිය ලබාගෙන තිබුණේ මීට මාස දෙකකට පෙරය. සුදුසු රජයේ රැකියාවක් ලැබෙන තුරු ඇය රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පරිගණක අධ්‍යාපන ආයතනයක සේවය කළාය.


ඇයට පාදුක්කේ පදිංචි පෙම්වතෙකු සිටි අතර ඔහු සමග විවාහවීමට ලබන 2024 ජනවාරියේ දිනද යොදාගෙන තිබුණි.

ඇයගේ නිවසේ සිට රත්නපුර නගරයට යෑමට මාර්ග දෙකක් ඇති බවත්  ඇය මියගිය දවසේ ගමන් කළේ ඉන් එක් මාර්ගයක් වන පලාවෙල රත්නපුර මාර්ගයේ බවත් පැවසිණි. අනෙක් මාර්ගය වූ ඇලපාත රත්නපුර මාර්ගයේ සුනඛයන් සිටින බවත් ඇය ඊට බියක් දැක්වූ නිසා එම පාර මග හැරිය බවත් පැවසේ.
සචිනි සෑම දිනකම සේවයට යන අතර තුරදී ඇය විවාහ වීමට සිටින තරුණයාට දුරකථන ඇමතුමක් ලබාදෙන අතර සිද්ධිය වූ දිනයේ ඇයට ඔහු සමග සම්බන්ධවීමට නොහැකි විය.

නමුත් ඇය වැඩට ගොස් නොතිබීම මත නිවැසියන් හා පෙම්වතා ඇය ගැන සොයා තිබුණි.
පාසල් යමින් සිටි සිසු පිරිසක් පවසා තිබුණේ සචිනි බස් යන මාර්ගය දෙසට යනු දුටු බවකි. ඒ ආසන්න මග දෙපස පරීක්ෂාවේදී මාර්ගයේ පාළු ස්ථානයක පිහිටි නිල්වලා දොළේ තිබී සචිනිගේ මළ සිරුර හමුවූයේ ඒ අතරතුරය.
තරුණිය ගමේ කා සමගත් හිතවත් අයෙකු වූ බවත් දැනුවත්ව කිසිදු තරුණයකු හා ප්‍රේම සම්බන්ධයක් හෝ තරුණයින්ගෙන් ගැටලුවක් තිබුනේ නැති බව මව පවසා තිබේ. ගමේ විහාරස්ථානයේ දහම් පාසල් ගුරුවරියක් ලෙසද කටයුතු කළ ඇය අහිංසක බවත් කිසිදු කෙනෙකු සමග අනවශ්‍ය වාදයකට හෝ නොයන කෙනෙකු බවත් කියැවුණි.
දැනට ලැබී ඇති ආරංචි අනුව ඇයගේ මරණය කෙසේ සිදුවීද යන්න නිශ්චය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත.
පොලිස් පරීක්ෂණ දිගටම සිදුවේ.