rebuild-ukraine-dollars

රුසියාවේ ආක්‍රමණය හේතුවෙන් දරුණු  ලෙස හානියට පත්ව ඇති යුක්රේනය යළිත් ගොඩනැගීම සදහා ඉදිරි වසර 10ක කාලය තුළදී එක්සත් ජනපද ඩොලර් බිලියන 411ක මුදලක් අවශ්‍ය වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. එසේම දැනට සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති යුක්රේනයේ නගර පිරිසිදු කිරීම සදහා පමණක් ඩොලර් බිලියන 5ක මුදලක් වැය වෙතැයිද ලෝක බැංකුව සදහන් කරයි. යුක්රේනයේ පවතින මෙම යුද ගැටුම් හේතුවෙන් එරට වෙත ඇතිව තිබෙන ආර්ථික බලපෑම සම්බන්ධයෙන් සිදුකළ ඇස්තමේන්තුවක් ලෙස මෙම වාර්තාව නිකුත් කර තිබේ. එසේම රුසියාවෙන් තවදුරටත් එල්ලවන ප්‍රහාර හමුවේ යුක්රේනයට සිදුවන මෙම හානිය තවත් ඉහළ යන බවද ලෝක බැංකුව පවසයි.



2022 පෙබරවාරි 24වැනිදා ආරම්භ වූ රුසියාවේ මෙම යුක්රේන ආක්‍රමණයට අද දවස වනවිට මාස 13ක් සම්පූර්ණ වී තිබේ. නැගෙනහිර යුක්රේනයේ දෙරටට අයත් දේශසීමාවේ පිහිටි ලුහාන්ස්කි, ඩොනෙට්ස්කි යන පළාත් ස්වයංපාලන ප්‍රදේශ ලෙස නම් කරමින් විශේෂ හමුදාමය මෙහෙයුමක් ලෙස රුසියානු ජනාධිපතිවරයා මෙම යුද්ධය ආරම්භ කළේය.  විදෙස්මාධ්‍ය පවසන ආකාරයට කරන ආකාරයට යුක්රේන රජය, ලෝක බැංකුව, යුරෝපියානු කොමිසම සහ එක්සත්  ජාතීන්ගේ සංවිධානය එක්ව මෙම වාර්තාව  සකස් කර තිබේ. පසුගිය බදාදා දිනයේදී එය එළිදැක්වීම සිදුව තිබේ.

මේ අතර පසුගිය සැප්තැම්බර්  මාසයේදී ලෝක බැංකුව මගින් නිකුත් කළ  වාර්තාවකට අනුව මෙම ඇස්තමේන්තුව ඩොලර්  බිලියන 349ක් ලෙස සටහන්ව තිබුණී. ඒ අනුව, මාස හයක් තුළදී එය ඩොලර් බිලියන 60කින් ඉහළ ගොස් ඇත. මෙම නවතම වාර්තාව පෙන්වාදෙන ආකාරයට රුසියානු ආක්‍රමණය  හේතුවෙන් යුක්රේනයේ  ආර්ථිකය වෙත මෙන්ම,  මානව සම්පත වෙතද දරුණු හානි සිදුව තිබේ. එහිදී නිවාස මිලියන 2කට පමණ හානි සිදුව ඇති අතර, මහජන සෞඛ්‍ය ආයතන පහකට  හානි සිදුව තිබේ. එසේම,  ගිලන් රථ 650ක් හානියට  ලක්වීම හෝ සොරා ගැනීමට ලක්ව තිබේ.



මීට අමතරව, මේ  දක්වා සිවිල් වැසියන් 9,655දෙනෙකු මෙම යුද්ධය හේතුවෙන් මරණයට පත්ව ඇති අතර, දරුවන් 461දෙනෙකු ඒ අතර වන බව පැවසෙයි.  මෙම වාර්තාව නිකුත් කිරීමට සමගාමීව  අදහස් දැක්වීමක් සිදුකර ඇති යුරෝපය සහ මධ්‍යම ආසියාව සදහා වන ලෝක බැංකුවේ සභාපතිනී ඇනා ජෙර්ඩේ, යුක්රේනය නැවත ගොඩනැගීම සදහා තවත් වසර ගණනාවක් ගතවනු ඇතැයිද පවසා තිබේ. මෙහිදී එම වාර්තාව පෙන්වා දෙන ආකාරයට යුද්ධය හේතුවෙන් යුක්රේනයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වෙත පමණක් සිදුව ඇති ඍජු හානිය ඩොලර් බිලියන 135කි. කෙසේ වෙතත්, මෙම රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනය සිය ආරක්ෂාව තර නොකළේ නම් එම හානිය තවත් ඉහළ යාමට ඉඩ තිබූ බවද වාර්තාව පෙන්වා දෙයි. අද වනවිට රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් පවතින ඉදිරිපෙළ පළාත් වන ඩොනෙට්ස්ක්, බාර්කිව්, ලුහාන්ස්කි සහ බෙර්සොන් යන පළාත්වල ගොඩනැගිලි මෙලෙස දරුණු හානිවීමට ලක්ව තිබේ.

මේ අතර යුක්රේනය තුළ උද්ගතව පවතින මෙම දරුණු ආර්ථික අර්බුදකාරී තත්ත්වයේදී අත්‍යවශ්‍ය සහ මූලික ප්‍රමුඛතාව ලබාදෙන නැවත ඉදිකිරීම් සඳහා පමණක් ඩොලර් බිලියන 14ක් පමණ වැයවෙතැයි ගණන් බලා තිබේ. ඒ අනුව, මෙම තත්ත්වයට උදව්දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්රේනය වෙත ඩොලර් බිලියන 15කණය පහසුකමක් අනුමත කිරීමට එකගාතාව පළකර තිබේ. මෙහිදී, එම අරමුදල සිය සාමාජික රාජ්‍යයන් වෙත ණය ලබාදීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති සහ නීති වෙනස් කරමින් යුක්රේනය වෙත එම මුදල් අනුමත කර ඇතැයිද පැවසුණි.



මේ අතර, යුක්රේනය කුමන යුද ගැටුමක් පැවතුණද, එරට තුළ පවත්වාගෙන යා යුතු අත්‍යවශ්‍ය මහජන සේවා සියල්ලම එලෙසින්ම පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති බවත්, සියලුම පාසල් සහ රෝහල් විවෘතව පවත්වාගෙන යන බවත්, ගුරුවරුන් සහ රජයේ සේවකයන් වෙත වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවිම සිදු කරන බවත් ලෝක බැංකුව මීට පෙර පවසා තිබුණි. ඒ අනුව, මෙම අත්‍යවශ්‍ය සේවාවන් තවදුරටත් පවත්වාගෙන යාම සදහා ලබාදෙන සහයෝගයක් ලෙස යුක්රේනය වෙත මාසයකට එක්සත් ජනපද ඩොලර් බිලියන 3ත් 4ත් අතර මුදලක් අවශ්‍යව ඇතැයිද යුරෝපය සහ මධ්‍යම ආසියාව සදහා වන ලෝක බැංකුවේ සභාපතිනී ඇනා ජෙර්ඩේ පවසා සිටියි.