rohitha-rajapaksa-credit-card-dollars

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ ණය කාඩ්පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන් ඩොලර් 400කට ආසන්න මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නාරාහේන්පිට පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ ඊයේ (09) කරුණු වාර්තා කළේය.  පැමිණිලිකරුට  අයත් කාඩ්පතින් අවස්ථා හතරක දී ඩොලර් 387 ක්, එනම් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ පන්දහසක  මුදලක් ඔන්ලයින් හුවමාරු  ක්‍රමයෙන් සොරාගෙන ඇතැයි අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේ නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා විසිනි.



නො. 117, විජේරාම මාවත,  කොළඹ 07 ලිපිනයෙහි පදිංචි රෝහිත චන්දන රාජපක්ෂ යන අය විසින් නාරාහේන්පිට මෙම පැමිණිල්ල පොලීසියට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.  තමන් අංක 184 දූව පාර, බැද්දගාන, කෝට්ටේ ලිපිනයේ නිවසේ සිට ඉකුත් 03 වැනිදා මාතර නිවසට පිටව ගිය බවත්, ඒ අතරතුර සම්පත් බැංකුවේ තමාට අයත් ණය කාඩ්පත වැටී ඇති බවත්, පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් ණය ඇතැයි නාරාහේන්පිට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

පසුව ඉකුත් 05 වැනිදා උදේ  10.00 ට ඩොලර් 167ක්ද, එදිනම  දහවල් 12.21ට ඩොලර් 67ක්ද, සවස 2.00ට ඩොලර් 99 ක් ද වශයෙන් ඔන්ලයින් හුවමාරු ක්‍රමය ඔස්සේ ලබාගෙන ඇති  බවත්, නැවත පසුගිය 07 වැනිදා උදේ 10.58ට ජාවත්ත සෙන්සාල් වෙළෙඳසලෙන් ඩොලර් 54ක් ද වියදම් කර තිබූ බවත් පැමිණිල්ල කරුණු ඉදිරිපත් කර ඇති බව ද නාරාහේන්පිට පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම මුදල් තම ණය කාඩ්පත් ලබාගැනීම ගිණුමෙන් සම්බන්ධයෙන් තම දුරකතන අංකයට කෙටි පණිවිඩ කිහිපයක් ලද බැවින්, තමන් එම ගිණුම අක්‍රීය කිරීමට බැංකුවට දැනුම් දුන් බව ද මෙහිදී පැමිණිල්ල සඳහන් කර ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.



මෙය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වැනි වගන්තිය යටතේ  දඬුවම් ලැබිය හැකි වරදක් බවට අධිකරණයට කරුණු වාර්තා කළ පොලීසිය අදාළ බැංකු ගිණුම් වාර්තා කැඳවීම සඳහා සම්පත් බැංකුවේ මූලස්ථාන කළමනාකරුට නියෝගයක්  නිකුත් කරන ලෙස ද ඉල්ලීමක් කළේය.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට ප්‍රගතිය වාර්තා කරන ලෙසට පොලීසියට නියෝග කළ අධිකරණය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ 124 පනතේ වගන්තිය ප්‍රකාරව අදාළ බැංකු ගිණුම් විස්තර නාරාහේන්පිට පොලීසියට ලබාදෙන ලෙසට නියෝග කරමින් අධිකරණය සම්පත් බැංකුවේ මූලස්ථාන කළමනාකරුට නියෝගයක්  නිකුත් කළේය. නාරාහේන් පිට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා සමග අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල් (25017) මධුෂාන් නිලධාරියා අධිකරණයට කරුණු වාර්තා කළේය.

නිමන්ති රණසිංහ