රුහුණ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය දින නියමයක් නොමැතිව පසුගිය සඳුදා ( 27 වැනිදා) සිට වසා දමා තිබේ. පීඨයේ විභාග ආරම්භ වීමට නියමිත වූයේ ද එදිනය. වසා දැමීමට ආසන්නම හේතුව වූයේ ඊට පෙර දින ( 26 වැනිදා) රාත්‍රියේ එහි නේවාසිකාගාරයේ ඇති වූ සිද්ධියකි.
පීඨාධිපති මහාචාර්ය සුබාෂ් ජයසිංහට අනුව නම් සිද්ධිය මෙසේ ය.
සිසුන් කිහිප දෙනෙක් එදින රාත්‍රියේ නේවාසිකාගාරයෙන් පිටතට යමින් සිටිනු ආරක්ෂක අංශ නිලධාරීන් දැක තිබේ. ආරක්ෂක අංශ දුටු සිසුන් ද යළිත් නේවාසිකාගාරයට දිව ගොස් තවත් සිසුන්ද සමග සිව්වැනි මහලේ සිට ඝෝෂා කිරීමට පටන් ගෙන ඇත. ආරක්ෂක අංශ දුටු සැණින් සිසුන් දිවගොස් ඇත්තේ රාත්‍රි 9.00න් පසු නේවාසිකාගාරයෙන් පිට වීම සිසුන්ට තහනම් කර තිබෙන හෙයිනි. එම ඝෝෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට උප ශාලාධිපතිවරයා පැමිණ තිබේ.
උප ශාලාධිපතිවරයා සිසුන් අතරට පැමිණි විටම නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කර ඇති සිසුන් ඔහුට පහර දීමට උත්සාහ කර ඇත. සිසුන්ගෙන් ගැලවීමට උපශාලාධිපතිවරයා නේවාසිකාගරයේ බිම් මහලේ පිහිටි සිය නිල නිවසට දිව ගොස් තිබේ. කලා පීඨයේ කථිකාචාර්යවරියක වන ඔහුගේ බිරිඳ , වයස අවුරුදු දෙකක් වන දරුවා සහ නැන්දම්මා ද කාමරයේ සිට ඇත.
දිව යන උපශාලාධිපතිවරයා පසුපස හඹා ගොස් ඇති සිසුන් ඔහුට බිම දමාගෙන පහර දී තිබේ. පහර දීම වැළැක්වීමට උත්සාහ කළ බිරිඳට සහ නැන්දම්මාට ද සිසුන් පහර දී ඇත. සිසුන්ගේ පහර දීමෙන් තිදෙනා බේරා ගැනීමට හැකි වී ඇත්තේ ආචාර්යවරු පැමිණිමෙන් පසුව ය. පහර දීමෙන් තුවාල ලැබූ උපශාලාධිපති , බිරිඳ හා නැන්දම්මා කඹුරුපිටිය ආඳපාන රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ..........පීඨාධිපතිවරයාට අනුව ය.
සිසුන්ට අනුව සිද්ධිය මෙලෙසිනි.
විභාග ආරම්භ කෙරෙන හෙයින් සිසු සිසුවියෝ බොහොමයක් දවස පුරාම අධ්‍යයන කටයුතු සඳහා ආපන ශාලාව භාවිත කරති. රාත්‍රියේදීත් අධ්‍යන කටයුතු එසේම සිදු කෙරෙති. එසේ අධ්‍යයන කටයුතු සඳහා ආපන ශාලාව භාවිත කිරීමට හේතුව නේවාසිකාගාරයේ අන්තර්ජාල පහසුකම් දුර්වල තත්ත්වයක පැවතීම ය.
සිද්ධිය වූ දිනයේ ද සිසුන් පිරිසක් රාත්‍රි දහය පමණ වන තෙක් ආපන ශාලාවේ අධ්‍යයන කටයුතුවල නිරතව සිට ඇත. ඉන්පසු නේවාසිකාගාරය දෙසට පැමිණෙමින් සිටි සිසුන් පිරිසට පොලු මුගුරු රැගත් ආරක්ෂක නිලධාරින් තර්ජනය කර තිබේ. පොලු මුගුරු අතැතිව සිටින ආරක්ෂක නිලධාරීන්ට සිසුන් හූ කියමින් විරෝධය පළ කර ඇත. එම අවස්ථාවේ දී එම සිසුන් පිරිස අසලට පැමිණි උපශාලාධිපතිවරයා පරුෂ වචනයෙන් බැණ වැදී එක් සිසුවකුට පහර දී තිබේ. කලහකාරී තත්ත්වයට හේතුව එම පහර දීම ය. පහර දීමට සිසුන් විරෝධය දැක්වීමට පටන් ගැනීම නිසා ඝෝෂාකාරී තත්ත්වයක් ඇති වී තිබේ. කෙටි කාලයක් ඇතුළත උපශාලාධිපතිගේ අනුදැනුම මත නේවාසිකාගාරය අසලට පැමිණි මැර පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් සිසුන්ට මරණ තර්ජන එල්ල කර ඇත.
එකම සිදුවීමක් සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා සහ සිසුන් කරන ප්‍රකාශවලට අමතර තවත් තොරතුරු රැසක් අප වෙත ද ලැබී තිබේ.
පොලු මුගුරු අතැතිව සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ට හූ කියමින් සිටි සිසුන් සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේ උපශාලාධිපතිවරයා සිසුවකුට පහර දුන් බව කියන සිද්ධිය හේතුවෙන් සිසුන් ද තැති ගෙන ඇත. සිසුන් ඊට දැඩි විරෝධය දැක්වීමත් සමගම උපශාලාධිපතිවරයා පහළ මහලේ වූ සිය නිල නිවසට දිව ගොස් දොර වසාගෙන තිබේ. එම අවස්ථාවේ නිවස පිටතට රැස් වූ සිසුන් පිටතට පැමිණෙන ලෙස උපශාලාධිපතිවරයාට පවසා ඇති නමුත් පිටතට පැමිණ නැත. පසුව සිසුන්ගේ බල කිරීම මත සැලකිය යුතු කාලයකින් පසු නිවසේ දොර විවෘත කර තිබේ. එහිදී සිසුන් උපශාලාධිපතිවරයාට දන්වා ඇත්තේ සිසුවාට කළ පහර දීම සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස ය. එහෙත් ඔහු සමාව ගෙන නැත. බිරිඳ පවසා ඇත්තේ සමාව ගැනීමට පහර දීමක් සිදුව නැති බවය . මේ අවස්ථාවේ දී උපශාලාධිපතිට පහර දුන් බව පිළිගන්නා සිසුහු බිරිඳට හෝ නැන්දම්මාට පහර දුන් බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරති. මද වෙලාවකින් ගම්වැසියන් පිරිසක් නේවාසිකාගාරය අසලට පැමිණ සිසුන්ට තර්ජනය කරමින් හැසිරුණු බවත් ඔවුන් උපශාලාධිපතිගේ අනුදැනුම මත පැමිණි බවත් සිසුහු කියති.
කෙසේ වුව ද අවසානයේ සිදුව ඇත්තේ තිදෙනා ම රෝහල්ගත වීම ය. මාතර වැල්ලමඩමේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයීය මෙම තාක්ෂණ පීඨය පිහිටා ඇත්තේ ඊට කිලෝමීටර් විස්සක පමණ දුරින් කඹුරුපිටියේ ය. පීඨය ආරම්භ කර මේ වන විට වසර හතරක් පමණ ය. මෙම සිව් වසරෙන් දෙවසරක කාලයක් පුරාවට සිසුන් අත් විඳ ඇති ගැහැට අපමණ ය. එය කිසිසේත් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක සිදු නොවිය යුතු තත්ත්වයකි. නේවාසිකාගාරයේ සිටින සිසුන් සම්බන්ධයෙන් වන වගකීමක් උපශාලාධිපතිට තිබේ. නේවාසිකාගාරයේ රැඳී සිටින සිසුන් කරන විනය විරෝධී කටයුතු නවත්වාලීමට හැකියාවක් ද උපශාලාධිපති සතු ය.
එහෙත් මෙම නේවාසිකාගාරයේ උපශාලාධිපති ලෙස පත්ව සිටින කුසල් ගුණවර්ධන නමැත්තා දිගු පිහියක් ගෙන සිසුන්ගේ කාමරවල සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය යේ ප්‍රචාරය වෙයි. පිහිය අතැතිව ඔහු සිටින්නේ උඩුකය ද නිරුවත්ව ය. ඒ ආකාරයෙන් කාමරවලට රිංගා තර්ජනය කළ බව සිසුහු පවසති.
මේ පුද්ගලයා පදිංචිව සිටින්නේ ද නේවාසිකාගාරය පිහිටි කඹුරුපිටියේ ම ය. ඔහු බීමතින් පැමිණ තමන්ගේ පන්ති තහනම් කරන බවට තර්ජනය කළ බවත් එදින සිද්ධියෙන් පසු කිසියම් පිරිසක් නේවාසිකාගාරය අසලට පැමිණ තමන්ට බැණ වැදුණු බවත් සිසුහු පවසති.
සිද්ධිය පිළිබඳව මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංගට ලිඛිතව පැමිණිලි කර තිබේ. එම ලිඛිත පැමිණිල්ලට කිසිඳු සිසුවකු අත්සන් තබා නැත. එවන් කටයුත්තක් සිදු කළහොත් කිසිඳු වග විභාගයකින් තොරව තමන්ගේ උපාධිය අහිමි කිරීමට උපකුලපතිවරයා කටයුතු කරන බව දන්නා හෙයිනි.
සිය දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම අරභයා කටයුතු කරන සිසුන් විශ්ව විද්‍යාලවල සිටිනා බව නොරහසකි. අතලොස්සක් වන එම පිරිස හේතුවෙන් පොදුවේ සිසුන්ට වන අපහසුතාව පමණක් නොව අසාධාරණය ද සුළු කොට තැකිය නොහැකිය. එනමුත් රුහුණේ සිදු වන්නේ හාත්පසින්ම වෙනස් දෙයකි. විකෘතියකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරිගේ නිල කාමරයට විෂ වායුවක් ඇතුළු කළ බවට උපකුලපතිවරයාට චෝදනා එල්ල වන්නේ මෙවැනි පසුබිමකදීය. ඉකුත් පෙබරවාරි 6 වැනිදා සිදු වූ විෂ වායු සිද්ධියට විරෝධය දක්වා උපකුලපතිවරයා ඉවත් කර විශ්වවිද්‍යාලය නිසි බලධාරියකු යටතට පත් කරන ලෙස ඉල්ලමින් ආචාර්ය සමිති සම්මේලනය ඉකුත් 13 වැනිදා දැවැන්ත විරෝධයක ද නිරත විය.
උපශාලාධිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය කෙරෙන සියලු වීඩියෝ ගැන පසුව පැහැදිලි කරන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන පැවසීය.
උපකුලපතිවරයා මෙසේද කීවේය.
උපශාලාධිපතිවරයා පිහියක් අතැතිව කොරිඩෝවේ ගමන් කරන වීඩියෝවක් ද ප්‍රචාරය වෙනවා. ඔහු පිහිය අතට අරගෙන කළේ සිසුන් අපිළිවෙළට වේලෙන්න දාන ඇඳුම් වැල් කැපීමයි. අපි ඒ අයට නියමිත ස්ථානවල පිළවෙළට ඇඳුම් වේලෙන්න තැන් හදලා තිබෙනවා. සිසුන් ඒවාට හුරු විය යුතුයි. ඒ වගේම සිසුන්ට තර්ජනය කරන්නේ ඔවුන්ගේ නොමනා හැසිරීමක් නිසයි. ඔහුත් මේ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.
(නිලන්ත මදුරාවල)
0 Comments