salindu mother-speaks

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින හරක් කටා නමැති පාතාල නායකයාගේ සමීපතමයකු යැයි කියන සළිඳු මල්ෂිත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලෙස ඉල්ලා ඔහුගේ මව ගොනුකර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට අභියාචනාධිකරණය කල් ලබා දුන්නේය.මෙම පෙත්සම අධිකරණය  හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලීමක් කළේය. මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්.මරික්කාර්  මහත්වරුන්ගෙන්  සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබ ලංකාවට රැගෙන ආ පානදුරේ සලිඳු නමැත්තාට ජීවිත තර්ජන ඇති බවට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කිරීමෙන් පසුව සලිඳුගේ මව
ශිරානි මල්කාන්ති මහත්මිය මෙසේ  සඳහන් කර තිබුණි.,

මගේ පුතා ශ‍්‍රී පරාක්‍රම විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 6ක් සමඟ සමත් වෙලා පානදුර ශ්‍රී සුමංගල විදුහලට ඇතුළත් කළා. පාසල් යන අතරේ නරක ඇසුර නිසා 2015 ජුනි 2 වැනිදා සිට දරුවා ගැන කිසිදු තොරතුරක් නැතිව ගියා. වාද්දුව පොලිසියෙන් ඔහු අත්අඩංගුවට ගෙන හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් නඩුවක් දැම්මා. අවුරුදු දහඅටේ මගේ දරුවා වසර එකහමාරක් තිස්සේ බන්ධනාගාරගතව සිටියේ මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්කා ආදී පිරිස් සමඟයි. ඉන්පසු ඇප ලබා පැමිණි බයිසිකල් සේල් එකක් කරමින් සිටියදී 2017 දෙසැම්බර් 27 මත්ද්‍රව්‍ය නඩුවකට නැවත අත්අඩංගුවට ගත්තා. ඒ නඩුවෙන් දරුවා නිදොස් කොට නිදහස් වුණා. ඉන් පසුව දරුවා කොහෙද හිටියේ කියල මම දැනුවත්ව හිටියේ නෑ. මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් බව පසුව දැනගත්තා.

දැන් එයාවෙ ලංකාවට ගේනවා. මගේ දරුවාට මාකඳුරේ මධුෂ්ට වගේ ඉරණමක් අත්කරදෙන්න එපා කියලා අද මම මානව හිමිකම් කොමිසමට ගියා, පොලිස්පතිට කිව්වා. පොලිස්පතිතුමනි, මගේ දරුවා නිකම් නරක් වුණේ නෑ. හොඳට ඉගෙන ගත්ත දරුවට කුඩු සලිඳු නාමය දැම්මේ පොලිසියෙන්මයි. මම මගේ දරුවාගෙන් උපයාගෙන සැප විඳින්නේ නෑ. මගේ මහත්තයා හම්බ කරන මුදලෙන් අපි ජීවත් වෙන්නේ. අපි දර ළිපේ කන්නෙ බොන්නේ. නීතිමය පියවරකින් පිට මගේ දරුවාට මරණය අත්කර දෙන්න එපා. හැම පොලිසියේ මහත්තයෙක්ම නරක නෑ. ඒත් සමහරු ඇවිත් මගේ දරුවට මධුෂ්ට වෙච්ච දේ වෙයි කියල කිව්වා. මම නැවතත් ඉල්ලන්නේ මගේ දරුවට  ඕනෑම දඬුවමක් නීතියෙන් කරන්න කියලයි.”




පෙත්සම ඊයේ (15) සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ විශ්වාසකටයුතු ආරංචි මාර්ගයක් අනුව සේවාදායකයා මැඩගස්කරයේ සිට මුම්බායි හරහා මෙරටට රැගෙන විත් ඇති බවත් තම සේවාදායකයාට එරෙහිව වරෙන්තු කිහිපයක් ඇති බැවින් ඔහු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.  යම් හෙයකින් එසේ නොවූවහොත් සේවාදායකයාගේ ජීවිතය අනතුරේ බවත් මා කඳුරේ මදුෂ්ට අත්වූ ඉරණම තම සේවාදායකයාට අත්විය හැකි බවත් එබැවින් පෙත්සමෙන් ඉල්ලා ඇති අදාළ සහන ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඉල්ලා සිටියේය.



සියලු අපරාධකරුවන් මෙලෙස අධිකරණයට පැමිණියහොත් නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදාවන බවත් එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙසත් තමන්ට නීතිපතිවරයාගේ  උපදෙස් ලබා ගැනීමට කල් ලබාදෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා  සිටියේය. ඊට අවසර දුන් අධිකරණය මෙම රිට් පෙත්සම මෙම මස 20 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළේය.  තමන් වහාම මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවන ලෙස ඉල්ලා පෙත්සම්කරු මෙම පෙත්සම ගොනුකර ඇත.
‍ෙ