saman-sri-rathnayake-speaks

පසුගිය 09 වනදා පවත්වන්නට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය මේ වනවිට අප්‍රෙල් 25 ට කල් තබා ඇති අතර රටේ ජනතාවට තවම මැතිවරණයක් පවත්වනවාද යන්න අවිනිශ්චිතය.මීට හේතුව ජනපතිවරයා ඇතුළු පාලන තන්ත්‍රය මැතිවරණයක් පවත්වනවාට අකමැතිවීමය.
එම අකමැත්තට අනුබල දෙමින් රජයේ ඇතැම් නිලධාරීන්ද විවිධ හේතු සපයමින් මැතිවරණය නොපවත්වන තැනට කටයුතු යොදා තිබේ.
 09 වනදා මැතිවරණය පවත්වන්නට බොහෝ කටයුතු සූදානම්ව තිබී තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකර මුද්‍රණාලයාධිපතිනිය සිදු කළ ක්‍රියාව නිසා මැතිවරණය පවත්වන්නට බැරිව ගිය බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක ඉරිදා පළවන ‘අනිද්දා‘ පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත. ඔහු ඒ ගැන මෙසේ කියයි.


“පොලිස් ආරක්ෂාව නෑ කියල තමයි මුල් වරට කීවේ.. 23දා පොලිස්පතිවරයාට දැනුම් දුන්නා, අපි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ
කටයුතු ආරම්භ කරනවා,

ඒ නිසා මුද්‍රණාලයට සහාය දෙන්න කියලා. මුද්‍රණාලයාධිපතිනියත් එම ඉල්ලීම පොලිස්පතිතුමාට යවලා තිබුණා.
පොලිස්පතිතුමා බස්නාහිර නියෝජ්‍ය පෝස්පතිතුමාට යවලා තිබුණා.
මීට කලින් කවදාවත් අපි ගිහිල්ලා පොලිස් ආරක්ෂාව ඉල්ලලා නෑ මුද්‍රණාලයට. මොකද ඒක මුද්‍රණාලයාධිපතිගේ කාර්යභාරය. ඒ නිසා අපිට කලින් ඒකේ හොයන්න දෙයක් තිබුණේ නෑ. ගැටලුවක් තියෙන බව ඒ අය කිව්වෙත් නෑ. ඒ නිසා පැහැදිලිව කියන්න පුළුවන් දේ තමයි මේ ඡන්දය නියමිත පරිදි තියන්න බැරිවුණ මූලික හේතුව, වෙන මොකුත් නෙමෙයි මුද්‍රණාලයාධිපතිනියගේ
ක්‍රියාකලාපය. මැතිවරණයට අදාළ රහස්‍ය ලියවිලි මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලයේ මූලිකම වගකීම් අතර තියෙන එකක්. ඒ අය මේ
මගහරින්නේ තමන්ගේ මූලික රාජකාරිය. නමුත් එහෙම කරන්න බෑ. මොකද ඒක මුද්‍රණාලයේ වගකීම නිසා. රාජ්‍ය අංශයේ
ආයතනවලට තියෙන අධිකාරීමය බලය අයුතු ලෙස භාවිත කරලා ජනතා පරමාධිපත්‍යය නැතිකරන්න බෑ රාජ්‍ය නිලධාරීන්ට.
මුදල් ගෙව්වොත් ඡන්ද පත්‍රිකා ලබා දිය හැකි බව මුද්‍රණාලයෙන් කිව්ව.
රාජ්‍ය සේවයේ කිසිම තැනක නෑ කලින් මුදල් ගෙවලා වැඩ ගන්න ක්‍රමවේදයක්. යම්කිසි කාර්යයක් ඉවර වුණාම තමයි රාජ්‍ය සේවයේ මුදල් ගෙවන්නේ.

අපි මැතිවරණය ප්‍රකාශ කළේ ජනවාරි 4දා. පෙබරවාරි 2දා චක්‍රලේඛයක් ගේනවා ණයට භාණ්ඩ ලබාගන්න එපා කියලා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කියලා කොටසක් නම් කරනවා. මට තේරෙන්නේ නෑ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට වඩා අත්‍යවශ්‍ය සේවාවන් තියෙන්නේ මොනවද කියලා. ඔය චක්‍රලේඛය ගෙනෙද්දී අපි, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ මැතිවරණය සම්බන්ධ මූලික කටයුතු කරලා ඉවරයි.
ඕනෑම භාණ්ඩයක් අපේ ගබඩාවට ගත්තාට පස්සේ තමයි අපි වවුචර් එක ගෙවීම් කටයුතු කිරීමට ගිණුම් අංශයට යවන්න ඕනෑ. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ මුදල් කලින් දෙන්න ක්‍රමයක් නෑ. අවශ්‍ය නම්, අපි ළඟ තියෙනවා මෙතෙක් කල් අපි ඡන්ද පත්‍රිකාවලට මුදල් ගෙව්වේ කොහොමද කියන එක ගැන විස්තර. මොකද පහුගිය සියලු මැතිවරණවලදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළේත් ඒ විදිහට තමයි.

කලීන්කිව්ව - චක්‍රලේඛය කලින්ම මහ භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100ක් ඒ මාසය සඳහා අපිට වෙන් කරලා තිබුණා. ඒ වගේම මිලියන 40ක් මුද්‍රණාලයට නිකුත් කරලා තිබුණා. තවත් මිලියන 25ක් පොලීසියට ලබාදීලා තිබුණා. මුද්‍රණාලයාධිපතිනිය ණයට ඡන්ද පත්‍රිකා ගහන්න බෑ කිව්වේ මහ භාණ්ඩාගාරය ඡන්දය වෙනුවෙන් මුදල් වෙන්කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකරලා තියෙද්දී.“