school-literacy-level-down

සියලුම පළාත් නියෝජනය වන පරිදි සිංහල මාධ්‍ය සිසුන් හයදහස් හයසිය පනස් නව දෙනෙක් ද දෙමළ මාධ්‍ය සිසුන් දෙදහස් නවසිය පහළොස් දෙනෙක් ද මෙම සමීක්ෂණය සඳහා තෝරා ගෙන තිබිණි.



තුන්වැනි ශ්‍රේණියේ මේ වන විට අධ්‍යාපනය ලබන දරුවන්ගේ සාක්ෂරතා හැකියාව සියයට හයක් සහ ගණිත හැකියාව සියයට හතක් තරම් ඉතාම අවම මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණයකිනි. සියලුම පාසල් වර්ග නියෝජනය වන ලෙස තුන් වැනි ශ්‍රේණියේ සිසුන් නවදහස් පන්සිය අනූ දෙනෙකුගෙන් යුත් නියැදියක් මෙම සමීක්ෂණයට යොදා ගෙන ඇත.



කථන, ශ්‍රවණ, කියවීම, ලිවීම, ඉලක්කම් හඳුනා ගැනීම වැනි හැකියා තිහක් පාදක කර ගනිමින් මෙම සමීක්ෂණය පවත්වා තිබේ.

බස්නාහිර සහ උතුරු මැද යන පළාත්වල සිසුන්ගේ සාක්ෂරතා හැකියාව සියයට නවයක් වන අතර සබරගමුව පළාතේ සියයට අටකි. වයඹ සහ දකුණ යන පළාත්වල පිළිවෙළින් සියයට හතක් සහ හයක් වන එම ප්‍රතිශතය නැගෙනහිර පළාතේ සියයට හතරක් වෙයි. මධ්‍යම , ඌව සහ උතුරු යන පළාත්වල සියයට තුන බැගිනි.

බස්නාහිර පළාතේ සිසුන්ගේ ගණිත හැකියාව සියයට දොළහක් වන අතර උතුරු මැද සහ උතුරු පළාත්වල සියයට අටකි. දකුණ , වයඹ සහ ඌව යන පළාත්වල සියයට හතක් වන සිසුන්ගේ ගණිත හැකියාව සබරගමුව පළාතේ සියයට හයක් වෙයි. එමෙන් ම මධ්‍යම පළාතේ සියයට හතරක් වන එම ප්‍රතිශතය නැගෙනහිර පළාතේ සියයට තුනකි.

සමස්තයක් වශයෙන් සිසුවියන්ගේ සාක්ෂරතාව සියයට 8ක් වන අතර සිසුන්ගේ සාක්ෂරතාව සියයට හතරකි.


සියයට හතක් වන සිංහල මාධ්‍ය සිසුන්ගේ සාක්ෂරතාව දෙමළ මාධ්‍ය සිසුන්ගේ සියයට හතරක් බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

මේ වන විට තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නේ කොවිඩ් සමයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන් ය.

මෙම සමීක්ෂණ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ ( 16 වැනිදා) එළිදැක්වුණු අතර එම අවස්ථාවට එක්වූ අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙසේ පැවසීය.

‘‘තුන්වැනි ශ්‍රේණියේ දරුවන්ගේ ඉගෙනුම් නිපුණතාවන් තිහක් සම්බන්ධයෙන් කළ මේ පරීක්ෂණය අනුව සියයට හතක ප්‍රතිශතයක් පමණයි ඒ මට්ටමට ළඟා වී සිටින්නේ. සියයට අනූ තුනක් ගැන ප්‍රශ්නයක් තිබෙනවා. කොවිඩ් වසංගතයම විතරක් මේ තත්ත්වයට බලපෑ බව පිළිගන්න අමාරුයි. මොකද ප්‍රාථමික දරුවන් වෙනුවෙන් යොදවා සිටින ගුරුවරුන්ගෙන් කී දෙනෙක් ප්‍රාථමික ගුරු පුහුණුව ලබා තිබෙනවා ද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් කිසිම පුහුණුවකින් තොරව පාසල්වලට අනුයුක්ත කළා. ඒ අය අතරින් වැඩි පිරිසක් යෙදෙව්වේ ප්‍රාථමික පන්තිවලට. ඉතින් මෙවනි තත්ත්වයක් ඇති නොවෙයි ද. අනෙක් අතට ප්‍රාථමික දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ගැන නියමිත පරිදි අධික්ෂණය කළා ද. ඒ ගැනත් අපි සිතිය යුතුයි. ‘‘

නිලන්ත මදුරාවල