serunuwara-incident

සුනඛයන්ට දෙන ඖෂධයක් කුඩුකර, සේරුනුවර ප්‍රදේශයේ පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු දිවා ආහාරයට හා වතුර බෝතලයට මුහුකර දුන් බව කියන සිසුන් හයදෙනාට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නා ලෙස,

රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක් කර ඇතැයි සේරුනුවර පොලීසිය පවසයි. සිසුන් හයදෙනාගේ අනාගතය ගැන සිතා රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් මෙම තීරණය ගෙන ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය රෝගාතුරව ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර  ලබන සිසුවා ද තමා සමග එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනාට සමාව දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කියති. මෙම සිසුවාට සුනඛයන්ට දෙන ඖෂධ වර්ගයක් ශරීරගත කිරීමට සැලස්වූ බව කියන සිසුන් හය දෙනා පොලීසියට කැඳවා අවවාද කිරීම පමණක් සෑහෙන බව රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් පොලීසියෙන් ඉල්ලීමක් කර ඇතැයි දැන ගැනීමට තිබේ.



රෝගාතූරව සිටින සිසුවාගේ මවුපියන් බුද්ධිමත් තීරණයක් ගෙන එම සිසුන් හය දෙනාට සමාව දීමට ගත් තීරණය පොලීසියේද ප්‍රශංසාවට ලක්වී ඇති බව දැන ගැනීමට ඇත. නිවසේ සුරතරලයට ඇතිකරන සුනඛයාට මල බද්ධය ඇති බව පවසා ඖෂධ වර්ගයක් මිලදී ගෙන ඖෂධ වර්ගය සිසුවා දිවා ආහාරයට ගෙනා කෑම වේලට සහ වතුර බෝතලයට මුසුකර තිබිණැයි පොලීසිය පවසයි. මේවා ශරීරගත වීමෙන් පසුව සිසුවාට වමනය, බඩේ කැක්කුම සහ හිසරදය වැනි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු රෝහල්ගත කරන ලදැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.  මෙම සිසුවාගෙන් නිතර කරදර හිරිහැර සිදු වන බැවින් ඔහු පාසලේ දී අපහසුතාවයට හා ලැජ්ජාවට පත් කිරීමේ අරමුණින් මෙසේ කළ බව මීට මුල් වූ සිසුවා පොලිසියට පවසා ඇති බව ද කියති. රෝගාතුරව රෝහල් ගතව ප්‍රතිකාර ලබන සිසුවා සුවය ලබා පැමිණි පසුව දෙපාර්ශවයේම අය කැඳවා මෙම පැමිණිල්ල විභාග කර අවසන් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.


ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය