මෙරට පවුල්වලින් සියයට 48ක් එදිනෙදා කෑම වේල පිරිමසා ගැනිම සදහා මූල්‍ය ආයතනයකින් හෝ ණය දෙන්නකුගෙන් වැඩි පොලියට ණය ලබා ගෙන ඇකර මුදල් සොයාගෙන ඇති බවත්, ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 43ක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වියදම් කරන මුදල් ප්‍රමාණය අවම කර, එම මුදල් ආහාර මිලදී ගැනීම සඳහා යොදවා ඇති බවත්, පවුල් වලින් සියයට 35ක් ඔවුන් ඉතිරි කරගත් මුදල් හෝ ගෙවීමට ඇති ණය ගෙවීම් පැහැර හැරීමෙන් ඉතුරු කරගන්නා මුදල් ආහාර මිලදී ගැනීම සඳහා යොදවා ඇති බවත්, එම වාර්තාවේ සඳහන් කර ඇත.
මේ අතර, ශ්‍රී ලාංකිකයන් ඉන්ධන මිල සම්බන්ධයෙන් දක්වන කනස්සල්ල ඉකුත් දෙසැම්බර් මාසයට සාපේක්‍ෂව ජනවාරි මාසයේදී සියයට 6 දක්වා අඩු වී ඇති බව ද එහි දැක්වේ. ආහාර මිල පිළිබඳ දක්වන කනස්සල්ල දෙසැම්බර් මාසයට සාපේක්‍ෂව ජනවාරි මාසයේදී සියයට 87ක් දක්වා සියයට එකකින් වැඩි වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ. ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව වැඩිම පළාත ඌව පළාත බවත්, ඉකුත් දෙසැම්බර් මස සියයට 43ක් වූ ඌව පළාතේ ආහාර අනාරක්ෂිතතාව ජනවාරි මස අවසන් වන විට සියයට 47ක් දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාව දෙසැම්බර් මසට සාපේක්ෂව ජනවාරි මාසයේදී සියයට 10කින් අඩු වී ඇති අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව අඩුම පළාත ලෙස බස්නාහිර පළාත පත්ව ඇතැයි ද ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් පෙන්වා දී ඇත. ජනවාරි මාසයේදී බස්නාහිර පළාතේ ආහාර අනාරක්ෂිතතාව සියයට 23ක් ලෙස පැවැති බව ද එම වාර්තාවේ දැක්වේ. ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්‍ෂණ වාර්තාව ඉකුත් පෙබරවාරි විසි අට වැනිදා නිකුත් කරනු ලැබීය.
විමුක්ති එස්. රුද්‍රිගු
0 Comments