strike-from-next-week

තෙල් සංස්ථාව,රක්ෂණ සමාගම, ටෙලිකොම්, ලංවිම ඇතුළු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය  ආයතන විකුණා දැමීමට ඇති සැලසුම් වහා අවලංගු කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ලබන සතිය පුරා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.  ලබන මස 03වැනිදා විරෝධතා ව්‍යාපාරයක් හා දැනුවත් කිරීමේ පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රාජ්‍ය -අපිධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.

මීට අමතරව විකුණා දැමීමට සැලසුම් කර තිබෙන රාජ්‍ය ආයතන මූලික කර ගනිමින් ලබන සතියේදී වැඩවර්ජනයක් සිදුකිරීමටත් තීරණය කළ බවද එම එකමුතුව සඳහන් කරයි. මේ අනුව වැඩවර්ජනය සිදුකරන ආකාරය හා අදාළ දිනයන් පිළිබද එළඹෙන 03වැනිදා සිදුකරන විරෝධතා අවසන් කර වෘත්තීය සමිති ඒ කාබද්ධ වී තීරණය කිරීමට නියමිතව තිඛෙන බවද එම එකමුතුව සදහන් කරයි. මේ අතර, තෙල් සංස්ථා සේවකයන් 20දෙනෙකුට ආයතන තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදීම පිළිබඳ ඊයේ (30දා) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.



එසේම අද (31දා) දිනය තුළදීත් ආයතන තුළට ඇතුළුවීමට අවස්ථාව ලබානොදීමට කටයුතු කළහොත් අද දින පොලිස් මූලස්ථානයට පැමිණිලි කර අධිකරණ ක්‍රියාමාරිග ගන්නා බවද එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. තෙල් සංස්ථාව විකුණා දැමීමට සිදුකරන සැලසුම් අවලංගු කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකළ සේවකයන් 20දෙනෙකුට මෙලෙස ආයතන තුළට ඇතුළුවීමට ඉඩ ලබා  නොදෙන බවද ඒ මහතා පවසා සිටියේය.

මීට අමතරව වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකළ වෘත්තීය සමිති නියෝජිතයන් 20දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවට අමත්‍යවරයා සදහන් කළද ඊයේ දිනයේදීත් ඊට අදාළව ලිපියක් නොලැබුණු බවද ආනන්ද පාලිත මහතා සදහන් කළේය.

එසේම නීතිරිතිවලට අනුව අමාත්‍යවරයාට එවැනි තීරණයක් ගැනීමට නොහැකි බවත්, තෙල් සංස්ථාවේ කොටස් විකුණා දැමීමට ගෙන තිඛෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූයේ, පවතින කම්කරු නීතිරීතිවලට අනුව බවත්, මීට අමතරව සත්‍යග්‍රහය සිදු වූයේ, තෙල් සංස්ථාවට අයත් භූමියක බවත් හෙතෙම පවසා සිටියේය. විකුණා දැමීමට සැලසුම් කර තිබෙන රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති 100කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වී ඊයේ (30දා) කොළඹදී සමුළුවක් පැවැත්වූ බවද ආනන්ද පාලිත මහතා පැවසීය.
ඉන්දික හේවාවිතාරණ