
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා 'දේශය' පුවත්පතට පසුගිය සතියේ සැපයූ සෞඛ්‍ය උපදෙසක් පහතින් පළවේ.
ප්‍රශ්නය
දියවැඩියාව සුවයට තෙබු කොළ හොඳද?
මම දීර්ඝ කාලීනව දියවැඩියා රෝගයෙන් පෙළෙමින් සිටිමි. වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාරද ගනිමි. එහෙත් බේත්වලට වැඩිය තෙබු කොළ ආහාරයට ගත්තාම දියවැඩියාව හොඳ වෙනවා කියා අසා තිබෙනවා. වෛද්‍යතුමනි, මට දැනගන්න වුවමනා වන්නේ තෙබු කොළ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව එකවර සම්පූර්ණයෙන් සුවකරගත හැකිවේවිද? දියවැඩියාව සම්පූර්ණයෙන් සුවකර ගැනීමට තෙබු කොළ කීයක් ආහාරයට ගත යුතුද? උපදෙසක් බලාපොරොත්තු වෙමි.
සමන් - ගාල්ල
උපදෙස ----
මෙය සම්පූර්ණයෙන් වැරුදි මතයකි. තෙබු කොළ කෑවාම දියවැඩියාව සුවවෙනවා නම් දියවැඩියා රෝගයට දෙන ඖෂධ කිලෝවක් පමණ බිව්වොත් එය සුව වෙනවාදැයි අසන්නත් පුළුවන්. බටහිර ඖෂධ ගන්න ගමන් මෙවැනි ආහාර ගැනීමෙන් අනිසි විදිහට සීනි මට්ටම පහළ යනවා. අපේ ශරීරයේ සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක තිබිය යුතුයි.
සීනි ඕනෑවට වඩා අඩුවීම හොඳ නෑ. සීනි මට්ටම අඩුම වුවහොත් මොළයට යන ග්ලූකෝස් මට්ටම පහළ වැටී සිහිය නොමැති වීමට හැකිය. එයින් මොළයට හානි විය හැකිය. රුධිර සීනි මට්ටම ඉහළ යාමට වඩා පහළ යාම දරුණුයි.
මෙවැනි කොළ වර්ග ආහාරයට ගැනීම කිසිසේත් අපට නිර්දේශ කරන්න බෑ. තෙබු කොළ පහකින් දහයකින් පහළ වැටෙන සීනි මට්ටම ගැන අපි දන්නේ නෑ. බටහිර ඖෂධවල නම් පෙත්තකින් අඩුවන ප්‍රමාණය අපි දන්නවා. රුධිරයේ සීනි ප්‍රමාණය මැන බලා ඒ අනුව බෙහෙත් නියම කිරීමයි නිවැරුදි ක්‍රමය. එහෙයින් විවිධ කොළ වර්ග ආහාරයට නොගන්න. වෛද්‍ය උපදෙස් ගැනීමේදී නිසි වෛද්‍යවරයකුගෙන් පමණක් ලබාගැනීම සුදුසුයි. ලංකාවේ වෛද්‍යවරු හැර අනෙක් සියල්ලන්ම වෛද්‍ය උපදෙස් දෙනවා.
වෛද්‍ය නන්දන දික්මාදුගොඩ

Comments
Post a Comment
Your comment will be visible after approval