van-bike-divulapitiya

යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරුව යතුරු පැදියේ පිටුපස ගමන් කළ කාන්තාවක වෑන් රථයට සිර වී සිටියදී වෑන් රථය නොනවත්වා කිලෝමීටරයක් පමණ දුරක් ධාවනය කර ඇතැයි දිවුලපිටිය පොලිසිය පවසයි. ගම්පහ දිවුලපිටිය, මීගමුව ප්‍රධාන මාර්ගයේ මරදගහමුල 12කණුව ප්‍රදේශයේ දී මෙම අනතුර පෙරේදා (12) පස්වරුවේ සිදුව  ඇත. වෑන් රථය යට සිරවී සිටිය දී වෑන් රථය කිලෝමීටරයක් පමණ දුරක් ධාවනය කිරීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.  හතළිස් එක් හැවිරිදි එම කාන්තාව කඩවල මිල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.



යතුරුපැදිය දිවුලපිටිය ප්‍රදේශයේ සිට මීගමුව දෙසට ධාවනය කර ඇති අතර තුවාල ලැබූ කාන්තාවගේ  19 හැවිරිදි පුතා විසින් එය පදවනු ලැබ ඇති අතර එම කාන්තාව යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් කර ඇති බව පොලිසිය කියයි. මරදගහමුල 12 කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් අතුරු  මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.  එම අවස්ථාවේ යතුරු පැදියේ ධාවනය වේගය අඩු කර ඇති අතර යතුරු පැදියට පිටුපසින් පැමිණ ඇති වෑන් රථය යතුරු පැදියේ සහ කාර් රථයේ ගැටී තිබේ.

වෑන් රථය යතුරු පැදියේ ගැටීමෙන් අනතුරුව යතුරු පැදියේ පිටුපස ගමන් කළ කාන්තාව වෑන් රථය යටට විසිවී ගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

වෑන් රථය පිටුපසට ගෙන ඇති රියදුරු එය නොනවත්වා ධාවනය කර ඇති බවත් අනතුර සියැසින් දුටු පුද්ගලයන් යතුරු පැදි සහ වාහනවලින් වෑන් රථය පිටපුස හඹා ගොස් ඇති බවත් පොලිසිය කියයි. පසුව ලොරි රථයක් හරස්කර වෑන් රථය නවතා බරපතළ තුවාල ලබා සිටි කාන්තාව බේරා ගැනීමට රැස්ව සිටි පිරිස කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි. බීමත්ව සිට ඇති වෑන් රථයේ රියැදුරු පලා යාමට ගත් උත්සාහයේ දී කුපිත වූ පිරිස් ඔහුට පහර දීම හේතුවෙන් එම රියදුරු ද රෝහල්ගත කර ඇති බව පොලිසිය කියයි. මීරිගම ගුරුගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකාර රියදුරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
 
(ටෝනි කරුණානායක)