veyangoda-cardboard-factory

වේයන්ගොඩ මුද්දරගම පිහිටි කාඩ්බෝඩ්  කම්හලක සෙවිලි කරමින් සිටි සේවකයකු ඊයේ (2) දහවල් එහි යන්ත්‍රයකට හසුවී මියගොස් ඇති බව පල්ලෙවෙල පොලිසිය පවසයි. 

මිය ගොස් ඇත්තේ දිවුලපිටිය මැදගම්පිටිය නාලපහ පාර, අංක 93/2 දරන නිවසේ පදිංචිව සිටි ඇති කාවින්ද රහල් (25) නමැති තරුණයකු බවද පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී ඇත.  මෙම යන්ත්‍ර ක්‍රියා කරු කාඩ්බෝඩ් කම්හලේ යන්ත්‍රයක සේවයේ යෙදී සිටිය දී යන්ත්‍රයේ ඇරෙන වැසෙන කොටසකට ඔහු හිස පහත්කර ඇති අතර එවිට එහි සිර වී ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළි  වී තිබේ.

එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වී ඇති කාඩ්බෝඩ් කම්හලේ සේවක පිරිසක් බරපතළ තුවාල ලබා සිට ඇති තරුණයා හැකි ඉක්මනින් වතුපිටිවල මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිට ද ඔහු මියගොස් සිට ඇත.  මියගිය තරුණයා සහෝදර සහෝදරියන්  තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනි දරුවා වේ.  වතුපිටිවල මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂිකා චාමලී නානායක්කාර මහත්මිය විසින් මියගිය තරුණයා පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේදී ඊයේ (2) දහවල් පවත්වනු ලැබීය.  තරුණයා මිය ගොස් ඇත්තේ ඔහුගේ හිස්කබල කුඩුවී ගොස් මොළයට සිදුවී ඇති බරපතළ හානි හේතුවෙන් බව මළ සිරුර පිළිබඳව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පැවැත් වූ වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා සිය වෛද්‍ය වාර්තාවෙන් දැක්වීය.


එස්.යූ. ඩබ්ලිව්. කේ. ජයවර්ධන