vijerama-incident

ඇඟලුම් සේවිකාවක ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා විජේරාම රබර් වත්ත පළවැනි පටුමගේ කාමරයක සැඟවී සිටිය දී පෙරේදා (5) අලුයම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි. ඝාතනයට ලක්ව තිබුණේ එල්බොඩ කටුපිටිය, පබේගම ජන උදාන ගම්මාන පදිංචිව සිටි සදාසිවම් නිරංජලා 25 නමැති කාන්තාවයි. ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර උඩුපුස්සැල්ලාව, සොගමාවත්ත, ඩී.සී. 4 කොටස ලඳු කැලෑවක තිබිය දී ඉකුත් 4 වැනිදා පොලිසිය මගින් සොයා ගත්තේ දලු කැඩීමේ නිරත කාන්තාවක විසින් ලබාදුන් තොරතුරක් අනුව බව පොලිසිය කියයි.



මළ සිරුර තිබූ ස්ථානයට මීටර් පනහක් පමණ ඈතින් පුස්සැල්ලාව රෝහල කරා යන අතුරු පාරක් ද ඇතැයි පොලිසිය කියයි.ඝාතනයට ලක්ව ඇත්තේ ලණුවක් වැනි දෙයකින් ගෙල සිර කිරිමෙන් බවට බැලූ බැල්මට දක්නට ලැබුණ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයා කාන්තාව සමඟ මීට වසරකට පමණ ඉහත දී විවාහ වී ඇති අතර දෙදෙනාම කළුබෝවිල ප්‍රදේශයේ කාමරයක කල් ගෙවා තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඉකුත් තුන් වැනිදා අඹු සැමි යුවළ කොළඹ සිට පුස්සැල්ලාව තෙක් පැමිණ ඇති අතර සැකකාර පරිගණක ඉංජිනේරුවරයා කාන්තාවගෙන් දික්කසාදය සඳහා කැමති වන ලෙස ඉල්ලා පුස්සැල්ලාව නගරයේ දී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවී ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව සැකකරු කොළඹ පැමිණි බවත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වී ඇත.29 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුස්සැල්ලාව පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ බව මිරිහාන පොලීසිය සඳහන් කරයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ