පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් මානසික ආතතිය සඳහා ලබා ගන්නා ඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් ඊයේ (01) පෙරවරුවේ මිය ගිය අතර එය සියදිවි නසාගැනුමක්ද නැතිනම් අත්වැරදීමකින්
වැඩිපුර බෙහෙත් ගැනීමෙන් සිද්ධවූවක්ද යන්න තවම අනාවරණය නොවේ. කෙසේ වෙතත් ඇය සියදිවි නසාගන්නට කළ උත්සාහයන් ගැන පෙර වාර්තා තිබේ.
මෙම සිසුවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගුණපාල මලලසේකර නේවාසිකාගාරයේ කාමරයක තවත් සිසුවියන් දෙදෙනකු සමඟ රැඳී සිට තිබෙන අතර ඇය සිහිසුන්ව කාමරයේ සිටිනු දැක එම සිසුවියන් දෙදෙනා පෙරේදා (28) රාත්‍රී 10.00ට පමණ ඒ සම්බන්ධව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්වත් කර තිබේ.
සිසුවියගෙන් කාමරේ සිටි අනෙක් අය අසනීප තත්වය ගැන විමසීමේදී ‘මං වැඩිපුර බෙහෙත් ගත්තා‘ යනුවෙන් පවසා තිබේ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සිසුවිය විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ගිලන් රථයකින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවත් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (01) පෙරවරුවේ මිය ගොස් තිබෙන බවත් වාර්තා විය.
මිය ගොස් ඇත්තේ කුරුණෑගල පදිංචි විනෝදි වින්ද්‍යානි ද සිල්වා නමැති කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි. ඇය කලක පටන් මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
මෙම සිසුවිය ඉංජිනේරු පීඨයේ 2017 කණ්ඩායමට අයත් බවත් මේ වනවිට එම කණ්ඩායමේ සිසුන් තිදෙනකු සියදිවි හානි කරගෙන තිබෙන බවත් මහාචාර්ය මදුජිත් මහතා කීය.
මේ අතරින් සිසුන් දෙදෙනකු පසුගිය වසරේ සියදිවි නසා ගත් බවත් අදාළ තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා ප්‍රතිකාර ක්‍රම මෙන්ම විවිධ වැඩසටහන් විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක බවත් ඒ මහතා පැවසුවේය.
මෙම සිසුවිය මෙයට පෙරද එක් වතාවක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ වහලය මතින් පහළට පැනීමට උත්සාහ කර තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
0 Comments