කොළඹ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක (BCAS Campus) හි අධ්‍යාපනය ලබන කල්මුණේ සහ සයින්දමරුදු පදිංචිකරුවන් වන තරුණයන් සිවුදෙනකු වැල්ලවාය ඇල්ලවල දියඇල්ලේ නාමින් සිටියදී ඊයේ (21) පෙරවරුවේ දියේ ගිලී අතුරුදන්ව තිබූ අතර හතරදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර පසුව හමු විය.
වයස අවුරුදු 20ත් 22ත් අතරේ පසුවන්නන් 10 දෙනෙකුගේ කණ්ඩායමක් වැල්ලවායේ පිහිටි ඇල්ලවල ඇල්ලේ දිය නාමින් සිටියදී ඊයේ (21) උදෑසන දියේ ගිලීම සිදුවිය.යතුරුපැදි පහකින් පොතුවිල් ප්‍රදේශයට යන බව නිවැසියන්ට පවසා නිවෙස්වලින් පිටව ගොස් ඇති නමුත් මෙලෙස දියනෑමට ගිය බව නිවැසියන් දැන සිට නැති බව ද පොලිසිය පවසයි.
දියේ ගිලීම සිදුවූ ස්ථානය අන්තරාදායක බැවින් එසේ කිරීම තහනම් කර තිබූ තැනකි.
මෙම සිසුන් දිය නෑමට ඇල්ල අසලට යමින් සිටියදී ඒ දුටු ප්‍රදේශවාසී කාන්තාවක එහි අනතුරුදායක බව කියමින් “නෑමට යන්න එපා" යැයි පවසා ඇති නමුත් කනකට ගෙන නැත.
පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඇල්ලේ ජලය වැඩි වී ඇති බවත් දිය නෑම අනාරක්ෂිත හෙයින් එහි දිය නෑම වැල්ලවාය ප්‍රාදේශීය සභාව විසින් තහනම් කරනු ලැබ ඇති බවත් කියැවිණි.
දිය නෑම තහනම් කරමින් හා අවදානම් සීමාව ලකුණු කර පෙන්වමින් වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් සවිකර තිබූ කම්බි වැට ද සැඩ පහරට ගසාගෙන ගොස් තිබුණි.
මෙලෙස දියේ ගිලී ඇත්තේ සමන්තුරේ, කල්මුණේ, සයින්දමරුදු යන ප්‍රදේශවල පදිංචි මොහොමඩ් අස්වර් මොහොමඩ් සුනුර්, මොහොමඩ් හයාෆ් සහ මොහොමඩ් නවුණස් යන තරුණයෝය.
දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සොයා ගැනීමට ගම්වාසීන් දවස පුරා දැඩි පරිශ්‍රමයක් දැරූ අතර මොහොමඩ් අස්වර් නමැත්තාගේ සිරුර පමණක් පස්වරුවේ ගොඩගෙන තිබිණි. සිරුරු සොයා කිමිදුම්කරුවන් යොදා පොලීසිය සහ ගම්වැසියන් එක්ව මෙහෙයුමක් දියත් කළද අධික වර්ෂාව හේතුවෙන් ඊට දැඩි සේ බාධා එල්ලවී තිබුණි.
දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් ආකාර්ශනයට ලක්ව ඇති ස්ථානයක් වන ඇල්ලවල ඇල්ලට බිලිවී අසාමාන්‍ය ලෙස ජීවිත රැසක් මේ වන විට නැති වී තිබෙන බව පොලීසිය කියයි.
ඒ නිසාම 2022 වසරේ මාර්තු 03 වෙනිදා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම ඇල්ල පිහිටි ප්‍රදේශය සංචාරකයන්ට තහනම් කලාපයක් බවටද පත්කරනු ලැබීය. ඒ ඒ වන විට මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඇල්ලේ දියනෑමට ගොස් 13 දෙනෙක් දියේ ගිලී මියගොස් තිබුණි.
0 Comments