බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාසයක පිහිටි මූලස්ථාන පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් කිරීමට පැමිණි කාන්තාවකගෙන් රුපියල් 40,000 ක මුදලක් ලබාගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරියක සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාරිග සඳහන් කරයි. පැමිණිල්ලක් කිරීමට පැමිණි කාන්තාව එම මූලස්ථාන පොලිසියේ පිහිටි කාන්තා භට නිවසට කැඳවාගෙන ගොස් එහි රැඳී සිටි එම කොස්තාපල්වරියගේ දරුවා පෙන්වා ඇතැයි කියති. තම දරුවා පෞද්ගලික උපකාරක පන්තිවලට යැවීමට මුදල් නොමැති නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව පවසා ඇය රුපියල් 40,000 ක මුදලක් ඉල්ලා ඇතැයි එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පැමිණිල්ල කිරීමට පැමිණි කාන්තාව දරුවා කෙරෙහි අනුකම්පා කර කොස්තාපල්වරිය ලබාදුන් ගිණුම් අංකයට එම මුදල පසුව තැන්පත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. පොලිසියට ගොස් දින කිහිපයකට පසු ඇය දන්නා හඳුනන රාජ්‍ය නිලධාරියකුට මේ ගැන දැනුම් දී ඇති අතර එම කොස්තාපල්වරිය පොලිසියට පැමිණෙන බොහෝ දෙනකුට බොරු කියා මුදල් ඉල්ලා ගැනීමේ නිරතව සිටින තැනැත්තියක බව එම නිලධාරියා පවසා ඇතැයි වාර්තා වේ.
එම රාජ්‍ය නිලධාරියා කාන්තාවට මේ බව පැවසීමෙන් පසු ඇය එම ප්‍රදේශයේ පොලිස් අධිකාරි කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු හමුවී මේ ගැන දැනුම් දී ඇත. උසස් පොලිස් නිලධාරියා එම කොස්තාපල්වරිය කැඳවා මේ ගැන විමසූ අවස්ථාවේ ඇය කාන්තාවගෙන් ලබාගත් රුපියල් 40,000 ක මුදල ලබන අප්‍රේල් මාසයේ ආපසු ගෙවන බවට පොරොන්දු වී ඇතැයි කියති. කාන්තාවද මුදල් ආපසු ලබාදෙන බවට කොස්තාපල්වරිය පොරොන්දු වූ නිසා සිද්ධිය සමථයට පත්කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරිය එම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ රාජකාරි කරන තැනැත්තියකි. කෙසේ වෙතත් උසස් පොලිස් නිලධාරියා එම කාන්තා පොලිස් කොස්තාපල්වරිය එම කොට්ඨාසයේම වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යවා ඇතත් ඇය ස්ථාන මාරුව අවලංගු කරගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත. ‘හිතන තරම් ලේසියෙන් මාව මාරු කරන්න බැහැ’ යනුවෙන් පොලිස් කොස්තාපල්වරිය දැන් කටමැත දොඩවමින් සිටින බව ද වාර්තා වේ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments