මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන් සියලුම වර්ගවල ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක් පැනවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.
මෙම බද්ද අය කිරීමට යෝජනා කර ඇත්තේ යතුරුපැදි ද ඇතුළු සියලුම වාහනවල ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී අය කිරීමට යෝජිත රුපියල් සියයක මාර්ග නඩත්තු ගාස්තුවට අමතරවය.

මෙම මාර්ග නඩත්තු ගාස්තුවෙන් වාර්ෂිකව අපේක්ෂිත ආදායම රුපියල් කෝටි අසූවක් වන අතර මාර්ග නඩත්තුව සඳහා වාර්ෂිකව වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි දෙදහස් දෙසියයක් පමණ වන බව අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පත්‍රිකාවේ සඳහන්ව ඇත. රුපියල් දහයක ඉන්ධන බද්ද පැනවීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි දෙදහසක ආදායමක් ලබා ගත හැකිවන බවත් එහි සඳහන් වෙයි.



2005 වසරේ දී ද මෙවැනි ඉන්ධන බද්දක් පනවා තිබී ඇති නමුත් ඇතැම් හේතු මත එය අවසන් අදියරේදී අත්හැර දමා ඇති බවද එම පත්‍රිකාවේ සඳහන් කර තිබෙන අතර යළිත් ඇති කෙරෙන බද්ද කළමනාකරණය කිරීමට මහාභාණ්ඩාගාරය, අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කෙරෙන ආකාරයට කළමනාකරණ කමිටුවක් ඇති කිරීමටද යෝජනා කර ඇත.

මෙම අරමුදල පිහිටුවෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග මෙන්ම පළාත්, පාලන සහ ග්‍රාමීය යන මාර්ගවල නඩත්තු කටයුතුවලට භාවිතා කිරීම සඳහාය.

උදයජීව ඒකනායක
නිලන්ත මදුරාවල