මේෂ - යහපත් වූ නව වසරක ආරම්භයකි
ගෘහ ජීවිතය :- සංවත්සර පලාපල අනුව වසර පුරාම ඔබට උද්යෝගිමත්ව කටයුතු කිරීමට හැකි නව පිබිදීමක් ඇතිවේ. පසුබට නොවී කළ යුතු දේ එදිනෙදාම කිරීමටත් ගෘහ ජීවිතය තුළ නව සැලැස්මකට ක්‍රියාත්මක වීමටත් හැකි වනු ඇත. බුද්ධිය පෙරදැරිව කටයුතු කිරීම ඉවසීම ආදී ගුණ අංග ඔබ විසින් උනන්දුවෙන් ජීවිතයට එකතු කර ගැනීම තුළ මනා දියුණුවක් ඇතිවේ. ප්‍රධානීන්ගෙන් උදව් උපකාර පිය පාර්ශවයේ උදව් හිමිවේ. දුවා දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේ. ප්‍රේමය, විවාහය, යුග ජීවිතය යන කරුණුවලදී පරිත්‍යාගශීලිත්වය, එක් අයෙකුගේ මතය ඉවසා සිටීම, නිහඬ බව, පරාජය, දරාගැනීම වැනි ගුණාංග අත්‍යවශ්‍ය වේ.
රැකියාව :- රැකියා හා ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. ඒ සඳහා බොහෝ ඇවිදිලි යෙදෙන්නට ඉඩ තිබේ. ඔබ ගන්නා උත්සාහයට සරිලන වැටුප් දීමනා නිසියාකාරයෙන් හිමි වීමේ භාග්‍ය ද පවතී. උසස්වීම් තනතුරු ලාභ ආදියට ද ඉඩ ඇති අතර කෘෂිකර්මාන්තය, ස්වයංරැකියා, සුඛෝපභෝගී භාණ්ඩ, රෙදිපිළි වෙළෙඳාම ආදියෙන් ලාභ ලැබිය හැක. විදෙස් රැකියා සඳහා ද යොමුවිය හැක.
අධ්‍යාපනය :- ප්‍රාථමික අංශවල සිට උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලබන සියලුම දුවා දරුවනට දැනුම වර්ධනය වීමේ ග්‍රහ බල නිර්මාණය වී ඇති හෙයින් ජයග්‍රහණ අත්වේ. උනන්දුවෙන් කටයුතු කරන්න.
සෞඛ්‍යය :- ඔබට තිබූ සමහර රෝග නිවාරණය විය හැකි අතර උෂ්ණාධික බව, සෙම් පීනස් ගති ඇතිවිය හැකිය. ඒ නිසා සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.
සුබ අංක 1, 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා, සෙනසුරාදා
ඔබගේ අපල අවම කර ගැනීමට රතු නෙලුම් සහ සියලුම රත්මල් වර්ග බෝධියට පූජා කර බෝධිපූජා තබා කතරගම දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ට පින් දෙන්න. අක්ෂි දුර්වලතා ඇති අයට උපකාර කරන්න. අභිසම්භිධාන පිරිත උදේ සවස කියන්න. අසන්න.
වෘෂභ - ධන ලාභ පෙන්නුම් කරයි
ගෘහ ජීවිතය :- ලග්නාධිපති සිකුරු බලවත්ව ලග්නයේ සිට උදාවෙන නව වසරේදී ඔබට සැප සම්පත් සහිත ජීවිතයක් ගත කරන්නට අවකාශ හිමි වේ. ඔබගේ ප්‍රියමනාප ස්වරූපයට අන්‍යයන් අවනත වේ. වචනය තරමක් දුරට පාලනය කර ගැනීම සමාජ ආශ්‍රයේදී අත්‍යවශ්‍ය වේ. විවාහ, දරු පල ආදිය ප්‍රමාද වූ අයට ඒ සම්බන්ධ තීන්දු තීරණ ගත හැකි අතර දරුවන්ගේ සියලු යහපත් අරමුණු ඉටුවිය හැකි බැව් පෙනේ. යානවාහන, විසිතුරු ඇඳුම්, සුඛෝපභෝගී භාණ්ඩ හිමිවිය හැක. ගේදොර අලංකාරවත් කිරීමට ද වෙහෙසෙයි. නොකළ වරදවලට චෝදනා එල්ල විය හැකි බැවින් ප්‍රවේශමෙන් බුද්ධිමත්ව ජීවිතය ගෙවන්න.
රැකියාව :- රැකියා කාරක සෙනසුරු 10 වැන්න වූ රැකියා ස්ථානයේම ගෝචර වී සිටින බැවින් ඔබ දැනට කරගෙන යන්නා වූ රැකියාවල පඩි වැඩිවීමක් උසස් වීමක් දක්නට ලැබිය හැකිවේ. රැකියාවක් නොමැතිව සිටියේනම් ඔබට නව රැකියා ලාභ අත්පත් කරගැනීමේ ප්‍රවණතාව පෙන්වයි.
අධ්‍යාපනය :- විදෙස් අධ්‍යාපනය සඳහා ඉල්ලුම් කර තිබූ අයට ඒ සඳහා අවස්ථා උදා වනු ඇත. කලා අංශය තුළ ඉගෙනුම ලබන දුවා දරුවනට අභියෝග ජය ගැනීමට හැකි මෙම වසර ජයග්‍රාහී මාවතකට පිවිසිය හැක. එමෙන්ම පරිගණක, ගණිත, විද්‍යා අංශවල දරුවනට ද සිය දැනුම වර්ධනය වනු මිස පසුබෑමකට ලක් නොවේ.
සෞඛ්‍යය :- උගුර ආශ්රිත සෙම් රෝග, පාදවල වේදනා, රක්තවාත ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.
සුබ අංක 4, 6, 9, සුබ වර්ණ - සුදු, රෝස, සුබ දවස් - සිකුරාදා, බදාදා
ඔබගේ අපල අවම කර ගැනීමට නොයෙක් වර්ණවත් මල් සහ කරඳකොළ මත පහන් තබා සිකුරාදා දින බෝධිපූජා තබන්න. දස දිසා පිරිත ද කියා දෙවියන්ට පිං දෙන්න. වැටකෙයා මල් පූජා කර රාහු අපලය ද දුරු කර ගන්න. ප්‍රධානීන් සමඟ කතාබහේදී ප්‍රවේශමෙන් වචන හසුරුවන්න. දසදිසා පිරිත නිවසේදී ද භාවිතයට ගන්න.
මිථුන - සියලු ලැබීම් සහිතයි
ගෘහ ජීවිතය - සිවුවැන්න අධිපති රවි සමඟ 11 වැන්නේ ගෝචර වී ආරම්භ වූ නව වසර ඔබට සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ කාලයක් බව පෙන්වයි. දරුවන්ගේ විවාහ, දරු පල ආදිය මෙන්ම ගේදොර ඉඩකඩම් යාන වාහන ලැබීම් ද පවතී. දරුවන්ගේ විදේශ ගමන් සපල වීම් මෙන්ම විදේශවල සිටින ඥාති හිතවත් ස්ත්‍රී පක්ෂයේ අයගෙන් උදවු උපකාර හිමි කර දෙයි. ඉතා වටිනා වර්ණවත් සළුපිළි රසවත් ආහාරපාන ලැබේ. චිත්ත පාරිශුද්ධිය ඇති කරගැනීමට ආගමික නැඹුරුවකට යොමුවීමක් ද පෙන්වයි.
රැකියාව :- 9, 10, 11 යන භාවයන්වල පිළිවෙළින් සිටින ග්රහයින්ගේ ස්වභාවයන් අනුව දැනට කරගෙන යන සහ ඉදිරියේදී කරන්නට බලාපොරොත්තුවෙන් සිටින රැකියා ව්‍යාපාර ආදියෙන් ද ලාභ ප්‍රයෝජන අත්වෙයි. කෘෂිකර්මාන්තය වුවද යහපත් ප්‍රතිඵල ගෙන දෙයි.
අධ්‍යාපනය :- පරිගණක තාක්ෂණය, ගණිතමය අංශවල මෙන්ම කලා අංශයෙන් ඉගෙනුම ලබන දරුවන්ට ද සිය අධ්‍යාපන කටයුතුවලින් සුබ පල ගැන්මට ඉතා හොඳ කාල වකවානුවකි.
සෞඛ්‍යය :- හිසරදය, ලේ දෝෂ, චර්ම රෝග ආදිය ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වීම සෞඛ්‍යමය නීතිරීති අනුව බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චියට යොමු වීම වැදගත්ය.
සුබ අංක 7, 4, 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - සිකුරාදා, බදාදා
ඔබගේ අපල අවම කර ගැනීමට පාසල් යන වයසේ අගහිඟතා ඇති දරුවෙකුට පොත් පත් පරිත්‍යාග කරන්න. දැනුම බෙදා දෙන්න. දරුවන් ආරක්ෂා කරන්න. රැකවරණය දෙන්න. ඔබේ මගේ නොව රටේම දරුවනට ආදරය සෙනෙහස ලබා දෙන්න. දහම් පත්‍රිකා බෙදා හරින්න. බදාදා දිනය නිර්මාංශ වන්න.
අතීතයේ සිටම සිංහල සංස්කෘතියේ අභිමානය සූර්යාගේ කිරණින් උද්දීපනය වෙමින් අවුරුදු චාරිත්‍ර ඉටු කෙරුණු බව අපි දනිමු. මෙවර ද සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම අප්‍රේල් මස 14 දින අපරභාග 02.59ට සිදුවීමෙන් සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. මේ වෙලාවේ සිංහ ලග්නයත් මිථුන නවාංශකයත් උදාව පවතින අතර ලග්නාධිපති උච්ච බලයෙන් 9 වැන්නේ ද සඳු ග්‍රහයා 6 වැන්නේ ද අඟහරු ග්‍රහයා 11 වැන්නේ ද තැන්පත්ව ඇත. බ්‍රහස්පති, සිකුරු, සෙනසුරු ස්වකීය රාශි බලයෙන් යුක්තව 8, 10, 7 යන ස්ථානවල තැන්පත්ව ඇත. තවද මෙම වර්ෂය තුළ සූර්ය ග්‍රහණ 2ක් සහ චන්ද්‍ර ග්‍රහණ 2ක් ද යෙදී තිබේ.
මෙකී ග්‍රහ බල අනුව සංයෝග වියෝග ගෝචර හා ග්‍රහණ හේතුකොට ගෙන දේශගුණික කාලගුණික විපර්යාස මෙන්ම ආර්ථික, සාමාජීය, දේශපාලනික අර්බුද ආදියට ද ඉඩ ඇත. රවි බුධ සිකුරු ආදි ග්‍රහයින් බලවත්ව සිටීම හේතුවෙන් යම් ප්රගතිශීලී බවක් ද ඇති වේයැයි විශ්වාස කළ හැකිය. ඔබගේ ලග්නයට නව වසරේ සුබාසුබ කෙසේදැයි විග්රහයක යෙදෙමු.
කටක - පුණ්‍ය කටයුතු සිදු කරයි
ගෘහ ජීවිතය - අලංකාරවත් නිවසක් නිර්මාණය කිරීමට ඔබ නිතර උනන්දු වේ. ගෙදර දොර කටයුතු වෙනුවෙන් බොහෝ උනන්දුවක් දක්වයි. පුණ්‍ය කටයුතුවලට දායක වෙමින් සමාජීය සුබසාධනය වෙනුවෙන් කැපකිරීම් කරයි. අන්‍යයන්ට ගුරුහරුකම් දෙයි. ඔබගේ කීර්තිය ගෞරවය පැතිර යන විදිහේ යහපත් කටයුතුවලටම පෙළඹෙයි. දරුවන්ගේ ඉගෙනුම් සඳහා විදෙස්ගත වීම් මෙන්ම නීතිමය කටයුතුවලට මැදිහත් වීමක් ද සිදුවිය හැක. ඉතා රසවත් ආහාර පාන, විසිතුරු ඇඳුම් පැලඳුම් ලැබේ. ස්ත්‍රී පාර්ශවයෙන් උදවු උපකාර හිමි වෙයි. සමහර විට නිවසේ සිට ස්වයං රැකියාවක් සඳහා පුහුණුවීම්වල නිරත වීමක් ද පෙන්වයි. ඒරාෂ්ටකයක් පැවතුණ ද බොහෝ කුසලකර්ම පෙරට එයි. යහපත් කාලයකි.
රැකියාව :- රැකියා කටයුතු සඳහා බොහෝ ඇවිදීමට සිදුවෙයි. ලිපි ලේඛන ආශ්රිත කටයුතු සම්බන්ධ රැකියාවල වැඩිපුර නියැළෙන්නට අවස්ථා උදාවේ. ආදායම් හා වැටුප් සාධාරණ අයුරින් ලබාගන්නට ද ඔබට හැකියාව පවතී. ආර්ථිකය ශක්තිමත්ය.
අධ්‍යාපනය :- කලා අංශවල දරුවන්ගේ ජයග්‍රහණ නිසා සතුටු වන්නට හැකියාව දෙමාපියන්ට උදා වේ. පූජ්‍ය පක්ෂයේ අයට ද ධර්මාවබෝධය ඇතිවේ. මනුෂ්‍යයින් පවින් මුදවා ගැනීමට උත්සාහයක් ගනියි. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය දැනුම ශක්තිය උත්පාදනය වනු ඇත.
සෞඛ්‍යය :- සෙම් රෝග, අජීර්ණ මෙන්ම සුළු අනතුරුවලට ද ඉඩ ඇති බැවින් කරන කියන කටයුතුවලදී කල්පනාකාරී වන්න.
සුබ අංක 4, 7, 9, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා
ඔබගේ අපල අවම කර ගැනීමට දරු ප්‍රසූතියක් සිදුකළ මවකට ආහාරපාන, දරුවාට අවශ්‍ය කරන දේවල් පරිත්‍යාග කරන්න. එම මවට සහය වන්න. පත්තිනි දේව ආශිර්වාදය ඔබට ලැබේවි. දිවුල් කිරි වැනි බීමක් මහන්සියෙන් වැඩ කරන අයෙකුට දෙන්න. කිරි එළදෙනක් ළඟපාත සිටීනම් වතුර භාජනයක් දෙන්න.
සිංහ - සුබ කාලයකි
ගෘහ ජීවිතය :- ඔබට නිමා කර ගැනීමට නොහැකි වූ නිවසෙහි අලුත්වැඩියා සහ නව වර්ගීකරණ කටයුතු නව වසරේ ආරම්භයත් සමඟ කරගැනීමට හැකි වනු ඇත.
ඒ සඳහා ඔබට මුදල් හදල් උපයා ගැනීමට පුළුවන. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු මෙන්ම අනෙකුත් යහපත් බලාපොරොත්තු ඉටුවීමට ඇති ඉඩකඩ පෙන්වයි. විදෙස්ගතවීම් ද සිදුවිය හැක.
තරුණ දූ දරුවන්ගේ උදවු උපකාර සහයෝගය ඔබගේ කාර්යන්වලට ලැබෙනු ඇත. ඔබ තුළ යහපත් සිතුවිලි සුබවාදී ආකල්ප මතු කරගැනීම තුළින් අන්‍යයන්ගේ සහයෝගය ඇතිව අනාගත ආයෝජනයක් ද පවත්වා ගැනීමට හැකිවේ. යහපත් වූ කාල සීමාවකි.
රැකියාව :- සිකුරු බලවත්ව 10 වැන්නේ මාලවි යෝගයෙන් සිටීම යහපත් රැකියාවන්හි නිරත වීමට ඉඩකඩ සලසයි. සමාජ සේවා අංශවල මෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය, මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත රැකියාවල නියුතු අයට වාසිසහගතය.
අධ්‍යාපනය :- ප්‍රාථමික අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්නට දෙමාපියනට සිදුවේ.
ඔවුන්ට තරමක බාධා පැමිණෙන ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් පසුපසින් සිට උනන්දු කරවීම අනවශ්‍යය. උසස් අධ්‍යාපනය ලබන දුවාදරුවන් ඔවුන්ගේ අභියෝග හමුවේ නොසැලී ජයග්‍රහණ ලබයි.
සෞඛ්‍යය :- සෙම් රෝග, මුත්‍රා ආසාදන, වකුගඩු ආශ්රිත අසනීපවලට ඉඩ ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.
සුබ අංක 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, බදාදා, සිකුරාදා
ඔබගේ අපල අවම කර ගැනීමට උදෑසන මෝර පිරිතත් හවසට චන්ද පිරිතත් කියන්න. ඉරිදා දිනවල බෝධි පූජා තබන්න. දෙවියනට පින් දෙන්න. බුදු ගුණ සත්‍ය ක්‍රියාව කියන්න. පොල්තෙල්, පහන් තිර, සුවඳ හඳුන්කූරු පරිත්‍යාග කරන්න.
අපල දුරුවීමට පොදුවේ කළ යුතු සෙත් ශාන්ති
මෙවර සංවත්සර පලාපල අනුව ලග්න දොළහෙන් උපන් සෑම අයෙකුටම සුබ පල මිස තදබල අයහපතක් පෙන්නුම් නොකරයි. එහෙත් වරින්වර සිදු වන ග්‍රහ මාරු සහ වෙනත් ග්‍රහ සංසිද්ධීන් අනුව අපල නැති යැයි ප්‍රකාශ කිරීමට ද නොහැක. ඔබට තිබෙන සුබ පල වර්ධනය කර ගැනීමටත් අසුබ පල අවම කර ගැනීමටත් පොදුවේ සෑම අයෙකුටම කළ හැකි සෙත් ශාන්ති පහතින් දක්වමි.
අවුරුද්ද ලැබූ පසුව ඔබට හැකි අයුරින් දානමාන දීම, එසේ දෙන විට පැන් වඩා මියගිය ඥාතීන්ට පින් දීම කළ යුතු වේ. තම තමන්ගේ නිවෙස්වල අඩුම තරමේ තුන් වරු පිරිතක් හෝ කියා නිවෙස්වල තිබෙන අපල දුරු කරගැනීම සිටින අයට සෙත් කරගැනීම ආශිර්වාද ලබා ගැනීම. හැකිනම් අනුරාධපුරය, රුවන්වැලිසෑය, ශ්‍රී මහා බෝධිය, දළදා වහන්සේ වැඳ පුදා ගැනීම, කැලණි විහාරය අබියස බෝධි පූජා පැවැත්වීම. මේ සියලු කටයුතුවලින් පසු දෙවියන්ට පින් දීම ඔබගේ අපල මඟ හරවයි. එමෙන්ම අසරණ අයට උපකාර කිරීම, කුසගින්නේ සිටින අයට තිරිසන් සතුනට පක්ෂීන්ට ආහාරපානාදිය දීමද තදබල අපල වුවත් දුරු කර ගත හැකි කුසල කර්ම වේ. අප්‍රේල් 22 සිට මැයි 15 දක්වා දරුවන්ට අපල පවතින බැවින් දරුවන්ගේ ආරක්ෂාව සලසාලීම ද වැදගත් වේ.
කන්‍යා - මිශ්‍ර පල සහිතය
ගෘහ ජීවිතය :- ලග්නාධිපති බුධ, රවි සහ රාහු සමග 8 වැන්නේ තැන්පත්ව සිටීම නිසා ඔබ බොහෝ කල්පනාකාරීව කරන කියන වැඩ කටයුතුවල නිරත විය යුතුය.
ඉවසීම අත්‍යවශ්‍යය. ගුරු 7 වැන්නේ වුවත් මාසයේ අගදී 8 වැන්නට ගමන් කරයි. එවිට එම 8 වැන්නේ චතුර්ග්‍රහ යෝගයක් නිර්මාණය වේ.
දැනට ගුරු 7 වැන්නේ ගමන් කිරීම ඔබට නව වසරේ අලුත් හිත මිතුරන්, වැඩිහිටි උසස් උගත් අය මුණ ගැසේ. රැකියාවට අමතර මිල මුදල් ඉපයීමේ මාර්ග ඇති කෙරේ. සමාජ සේවා, දේශපාලන කටයුතුවල නිරත වේ.
ජනතා සුබසෙත වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරයි. එමෙන්ම පුණ්‍ය කටයුතුවලට හිත යයි. දියුණුවට අදාළ අනාගත සැලසුම් නිර්මාණය කරයි. ඒවායේ සුබ පල අත්වෙයි.
රැකියාව :- රැකියා ස්ථානයේ කුජ දිග්බලව සිටීමත් රැකියා කාරක සෙනසුරු 6 වැන්නේ සිට 10 වැන්නට දෘෂ්ටි හෙළීමත් අනුව බොහෝ උත්සාහයෙන් කටයුතු කර මුදල් ඉපයීම් කළ යුතුය. නිරායාසයෙන් ලැබෙන කිසිවක් නැත. ඒ නිසා උත්සාහ වන්න.
අධ්‍යාපනය :- 11 වැන්නාධිපති සඳු අවුරුදු උදාවේදී ඔබේ කේන්ද්‍රයේ 5 වැන්නේ ගෝචර වී සිටීම අයහපත් නැත.
පරිගණක අංශවල මෙන්ම කලා අංශවල ඉගෙනුම ලබන දරුවන්ගේ දියුණුවට අදාළ ග්‍රහ බල පෙන්නුම් කරයි. ජයග්‍රහණ ලබයි. සිකුරු 9 වැන්නේ බැවින් සියලු දරුවන්ට සුබ පල ඇත.
සෞඛ්‍යය :- ආමාශයෙහි වාතය පුරවා දැමීම මෙන්ම අජීර්ණ, මුත්‍රා දෝෂ, ස්නායු අමාරු පෙන්නුම් කරයි. හදිසි සුළු අනතුරු ආදියට ද ඉඩ ඇත.
සුබ අංක 4, 7, 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා
අපල අවම කර ගැනීමට උදේ සවස පන්සිල් ගැනීමෙන් අනතුරුව අන්තරාය නිවාරණ පිරිත 7 වාරයක් බැගින් කියන්න. මියගිය අය වෙනුවෙන් දානයක් සකස්කොට පන්සලට ගෙන ගොස් පැන් වඩා පින් දෙන්න. මෙය අනිවාර්යයෙන් කරන්න.
තුලා - පදිංචි ස්ථානයේ දියුණුව
ගෘහ ජීවිතය - සඳු දිග්බලව සිවුවැන්නේත් යෝග කාරක ශනි 5 වැන්නේත් ගෝචරව ආරම්භ වන නව වසර තුළ ගේදොර දියුණුවට වැඩ කටයුතු සලසා ගැනීමට හැකි වනු ඇත.
අන්‍යයන්ට උදවු උපකාර කරමින් සාමාජීය සුබසාධන කටයුතුවලට සහභාගී වෙමින් යම් ප්‍රතිරූපයක් ගොඩනඟා ගනී. ස්ත්‍රී පක්ෂයේ ප්‍රධානීන්ගෙන් මවු දෙමාපියන්ගේ උපකාර ලබයි.
යුග දිවියේදී ගැටලු මතුවිය හැකි බැවින් අනෙකාගේ මතය ඉවසීම, ගරු කිරීම, නිහඬතාව ඇතිව කල් ගෙවීම වැදගත් වේ.
කරුණු කාරණා අවබෝධ කරගෙන ගැටලු දුරදිග නොයවා ඉවසීමෙන් පුණ්‍ය කටයුත්තක නියැළෙන්න.
රැකියාව :- රැකියා කටයුතු වෙනුවෙන් බොහෝ ඇවිදිලි වැඩ යෙදෙන්නට මේ කාලය තුළ ඉඩ ඇත. ලිපි ලේඛන ආශ්‍රිතව වැඩ කරන අයට අධික වැඩ යෙදේ. ඒවායින් ලාභ ප්‍රයෝජන අත්වේ. අතමිට මුදලක් ගැවසෙන කාලයක් වෙයි.
අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දරුවනට පොතපත දැනුම එක්රැස් කර ගැනීමටත් පරිගණක තාක්ෂණය මඟින් දැනුම ලබා ගැනීමටත් හැකියාව දක්නට ලැබෙන අතර එම දැනුම වර්ධනය කර ගැනීමේ ග්‍රහ බල පෙන්වයි. ජයග්‍රහණ ලබයි.
සෞඛ්‍යය :- උණ රෝග, සෙම් ගතිය මෙන්ම උෂ්ණාධික රෝගවලට ද හේතුවේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැකිලිමත් වන්න.
සුබ අංක 4, 6, සුබ වර්ණ - සුදු, රෝස, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා, බදාදා
ඔබගේ අපල අවම කර ගැනීමට කුඩා දරුවෙකුට (අසරණ පවුලක) විසිතුරු ඇඳුමක් පරිත්‍යාග කරන්න. අවුරුද්දට ප්‍රථම හෝ පසුව කරඳකොළ මත පහන් දල්වා බෝධි පූජාවක් තබන්න. බෝධිය අවට සුවඳවත් කරන්න. වකුගඩු, පිළිකා රෝගී කෙනෙක් ළඟපාත සිටීනම් හැකි අයුරින් උපකාරයක් කරන්න. එවිට ලබන්නා වූ වසර පුරාම ඔබට දුකක් නොවේවි.
වෘශ්චික - ගුණධර්ම වර්ධනය වේ
ගෘහ ජීවිතය :- නව වසරේ පලාපල අනුව ඔබගේ ගෘහ ජීවිතය තුළ දියුණුවක් සලසා ගැනීමට හැකි ග්‍රහබල පවතී. පදිංචි ස්ථානයේ මෙතෙක් අඩුපාඩුව පැවති දේට අත ගැසීමට බියක් ඇති කර ගත යුතු නොවේ. ඔබගේ ගුණධර්ම වර්ධනය වීමෙන් වැඩිහිටි අයට සැලකීමේ පුණ්‍ය කටයුතුවල නියැළීම ද දක්නට ලැබෙයි. යුග ජීවිතය හොඳින් පවත්වා ගැනීමට පුළුවන. ආදරය සෙනෙහස වැඩිවේ. දුවා දරුවන්ගේ හෝ පවුලේ කෙනෙකුගේ විවාහ දරු පල ප්‍රමාද වී තිබුණේනම් එවන් කාරණාවලට සුබ කාලයකි. නිවසේ පුණ්‍ය කටයුත්තක් සිදුකර ගැනීමට අවකාශ ලැබේ. ඉඩකඩම් යාන වාහන දේපළ ලාභ ඇතිවේ.
රැකියාව :- රවි බලවත්ව 6 වැන්නේ සිට 10 වැන්න වූ තම රාශිය දැකීම හේතුවෙන් උසස් රැකියාවකට හේතු වන අතර ප්‍රධානීන් සමඟ වැඩ කටයුතු කරන්නට අවස්ථා උදාවේ. ප්‍රධානීන්ගෙන් උදවු උපකාර හිමිවේ. ව්‍යාපාර කටයුතුවලින් ආදායම් ලැබීමට පුළුවන.
අධ්‍යාපනය :- කලා අංශයේ ඉගෙනුම ලබන දරුවන්ගේ ජයග්‍රහණ අසන්නට ලැබෙයි. භාෂා, පරිගණක අංශවල හැකියා දරුවන් තුළ වැඩි දියුණු වෙයි. අභියෝග ජය ගැනීමට උනන්දුව ඇති කරයි.
සෞඛ්‍යය :- රවි ග්‍රහයා 6 වැන්නේ බලවත්ව සිටින බැවින් කලක් තිස්සේ පැවති අසනීප සුව වීමේ හැකියාව ඇත. ඒ සමඟ සෙම් රෝග මතුවීමේ අවදානමක් පෙන්නුම් කරයි.
සුබ අංක 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ඔබගේ අපල අවම කර ගැනීමට අභිසම්භිධාන පිරිත කියන්න. අඟහරුවාදා දිනයේ රතු මල් සහිත බෝධි පූජාවක් තබා කතරගම දෙවිඳුන්ට පින් දෙන්න. ධර්ම පත්‍රිකා, බෝධි පූජා පොත්, පොල්තෙල්, පහන් තිර, සුවඳ වර්ග පුදබිමකදී බෙදා දෙන්න.
ධනු - ධන ලාභ
ගෘහ ජීවිතය :- ලැබුවා වූ නව වසරේ ඔබට අතමිට සරුවන, සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ග්‍රහබල දක්නට ලැබෙයි. නිවසෙහි පුණ්‍ය කටයුතු සිදු කෙරෙයි. වැඩිහිටි ඥාති හිතවතුන්ගේ පැමිණීම දක්නට ඇත. මෙතෙක් කලක් ප්‍රමාද වී තිබූ ඉඩකඩම් ගේදොර ගැටලු නිරාකරණයක් දක්නට ලැබෙයි. ව්‍යාපාර අංශ වලින් සෑහීමකට පත්වීමට පුළුවන. විදෙස් ගමන් සම්බන්ධ කරුණුවලදී සුබ පල අත්වෙයි. වාසනාවන්ත කල දසාවකි. දරුවන්ගේ ප්‍රමාද වූ විවාහ කටයුතු පිළිබඳ තීන්දු තීරණවලට එළඹිය හැක.
රැකියාව :- රවි බුධ යන ග්‍රහයින් 5 වැන්නේ රාහු සමඟ යෝග වී සිටීම හේතුවෙන් රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. බොහෝ ඇවිදිලි වැඩ යෙදිය හැක. ලිපි ලේඛන සම්බන්ධ කටයුතුවලින් ද ලාභ ඇත. නිවසේ සිට කරනු ලබන ස්වයං රැකියා ආරම්භයට සුබ කාලයකි. විදෙස් සබඳතා ඇති වෙළෙඳ ව්‍යාපාර ද දියුණුවේ.
අධ්‍යාපනය :- ඉගෙනුම් කටයුතුවල නිරත දරුවන්ට සූර්යාගේ බලපෑම මත යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිවීම නැණ නුවණ වර්ධනය වීමට හේතුවේ. ධර්ම කර්මාධිපති යෝගය 5 වැන්නේ යෙදීමත් දැනුම වර්ධනයට උපකාරී වන ග්‍රහ බලය උසස් විභාග ජයග්‍රහණ සඳහා සූදානම් වීමට පුළුවන.
සෞඛ්‍යය :- ආමාශගත අසනීප මතුවීමට ඉඩ ඇත. සෙම් පිත් රෝගවලට ද හේතුවේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.
සුබ අංක 5, 6, 8, සුබ වර්ණය - කහ, සුබ දවස් - ඉරිදා, බදාදා, බ්‍රහස්පතින්දා
ඔබගේ අපල අවම කර ගැනීමට සිල්වත් ස්වාමීන් වහන්සේ නමකට කහ සිවුරක් සහිත අටපිරිකරක් පූජා කරන්න. කහපාටට හුරු බෙලිමල්, රණවරා ගිලන්පස සඳහා පූජා කරන්න. වැඩිහිටි ගුරුවර ආදීන්ට සංග්‍රහ කරන්න. ඔබේ උසට කහපාට මල් මාලයක් අමුණා බෝධි පූජාවක් කරන අවස්ථාවේ බෝධියට පූජාවක් කරන්න. මේ සියල්ල කරන දිනවල නිර්මාංශ වන්න.
කුම්භ - අතමිට සරු වන කාලයකි
ගෘහ ජීවිතය :- මහ ජනතාව වෙනුවෙන්, රටේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් මහත් කැප කිරීම් කරන්නට ඉදිරිපත් වන කාලයකි.
ආත්මාර්ථයට වඩා පරාර්ථය සලකයි. ප්‍රිය වචන භාවිතය නිසා ඇසුරු කරන අයගේ අවධානය දිනයි. සහෝදරාදීන්ගෙන් මවු දෙමවුපියන්ගෙන් උපකාර හිමිවේ. විදෙස්ගතව සිටින අයගෙන් ද උදවු උපකාර ලබයි. නිවෙස් අලංකරණය බවභෝග සම්පත් ඉඩකඩම් යානවාහන දරු සම්පත් ලබා දෙයි.
වෙළෙඳ ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. පුණ්‍ය කටයුතුවලට දායක වෙයි. ධර්ම කරුණු අවබෝධ කර ගනී. ලෙඩුන්ට වැඩිහිටි අයට අසරණ අයට පිහිටවන්නට දෙපාරක් නොසිතයි. වාසනාවන්ත කාලයකි.
රැකියාව :- ඔබ කරගෙන යන්නා වූ රැකියා අංශවල දියුණුවක් පෙන්නුම් කරයි. අමතර ලාභ ප්‍රයෝජන හිමිවේ. මේ කාලය තුළ ඔබ රැකියා සොයන කෙනෙක් නම් බොහෝ දුරට සෞඛ්‍ය සේවා, පරිපාලන අංශවල සමාජ සේවා කටයුතු පුණ්‍යස්ථාන පිරිවෙන් ආදියේ සේවා ලැබෙන්නට ඉඩ ඇත. ආයතනවලට ඔබ අවංක සේවකයෙක් වනු ඇත.
අසාධාරණ ලෙස මුදල් උපයන්නෙක්නම් ඔබට කිසිඳු සමාවක් නොමැතිව සේවයෙන් පහකරනු ලබයි.
අධ්‍යාපනය :- විද්‍යා, කලා, වාණිජ, පරිගණක භාෂා යන සියලු අංශවල ඉගෙනුම ලබන දරුවනට ඉදිරි කාලය සුබ වෙන ලකුණු ඇත. අවුරුදු උදාවත් සමඟ ඇති වුණු ග්‍රහ රටාව කුම්භ ලග්න හිමි දරුවනට සුබ පල පමුණුවයි. ජයග්‍රහණ ලබා දෙයි.
සෞඛ්‍යය :- විශේෂයෙන්ම පාදවල වේදනා, ආමාශගත අසනීප, උණ රෝග ආදියට ඉඩකඩ පවතී. සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.
සුබ අංක 4, 7, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
ඔබගේ අපල අවම කර ගැනීමට භික්ෂූන් වහන්සේ නමකට අටපිරිකරක් පූජා කරන්න. දානමාන, බලු කපුටු දාන දෙන්න. හැකිනම් කකුලක් ආබාධිත අයෙකුට උපකාර කරන්න. සෙනසුරාදා දිනයේ නිර්මාංශව ගොස් බෝධි පූජාවක් තබන්න.
මකර -ප්‍රීතිමත් නව වසරකි
ගෘහ ජීවිතය :- මෙවර අලුත් අවුරුද්ද උදාවන මොහොතේ ඔබේ කේන්ද්‍රයේ ග්‍රහ සිත්තම අනුව බොහෝ මානුෂීය ගුණ ධර්ම ඔබ තුළ ඇතිවෙයි.
අවුරුද්දේ නිවසට ගොඩවන අයට සංග්‍රහ කිරීම් ආදිය නොඅඩුව කරයි. නිවසේ අලංකරණ කටයුතු සඳහා වෙහෙස වෙයි. කැපී පෙනෙන වෙනස්කම් ඇති කරයි. කලබලකාරිත්වය නිසා සුළු අනතුරුවලට ලක්විය හැක.
ප්‍රවේශමෙන් කල්පනාවෙන් සියලු කටයුතු කරන්න. දූ දරුවන් සඳහා අලංකාර ඇඳුම් පැලඳුම් රසවත් ආහාරපාන සකසයි. ඔවුන්ගෙන් ඔබට ද එලෙස සංග්‍රහ ලැබෙයි. ප්‍රීතියෙන් කල් ගත කරන සුබ වසරකි. තිබූ අසනීප මඟ හැරී යයි. පුණ්‍ය කටයුතු සිදුකරයි.
රැකියාව :- රැකියා ස්ථානය වූ 10 වැන්නේ අධිපති සිකුරු බලවත් වීම හේතුවෙන් දැනට වුවද කරන කියන කටයුතුවල සුබවාදී වර්ධනයක් පෙනෙන්නට ඇත. ඒ හැරුණු විට ස්වර්ණාභරණ, මැණික්, සුඛෝපභෝගී භාණ්ඩ, රෙදිපිළි අලෙවියට යහපත් වේ. ඒවායින් අතමිට සරුවන බවක් දැක්වේ.
අධ්‍යාපනය :- කලා අංශයේ දරු දැරියනට ජයග්‍රාහී වසරකි.
අනෙකුත් අංශවල නියැළෙන දරුවනට ද සුබ පල නැතුවා නොවේ. පරිගණක තාක්ෂණය, වෛද්‍ය, ගණිත අංශවල දියුණුවක් ඇති කරයි.
කුජ සිටින්නේ බුධගේ රාශියේ බැවින් ඒ අය තුළ ද නව දැනුම් සම්භාරයක් ගොඩ නඟයි. ශිෂ්‍යත්ව වැනි ප්‍රාථමික අංශවලින් ද ජයග්‍රහණ මතු කරයි.
සෞඛ්‍යය :- පෙර තිබූ අසනීප බොහෝ දුරට සුවපත් වන බවක් නව වර්ෂය තුළ දක්නට ලැබෙයි. අසනීප අමතක වූවා සේ වැඩ කරන ගතියක් ද ඇත.
සුබ අංක 4, 7, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා
ඔබගේ අපල අවම වීමට භාවනාවක යෙදීම වඩාත් වැදගත් වේ. තිරිසන් සතුනට පක්ෂීන්ට ලේනුන්ට ආහාර ජලය දීම, සෙනසුරාදා දින නිර්මාංශ වීමද වැදගත්ය. කිරි සහිත පැළ, පොල් පැළ යනාදී ගස් වර්ග සිටුවීම ද අපල ගෙවීමට සුදුසු වේ.
මීන - ආර්ථිකය ශක්තිමත් වේ
ගෘහ ජීවිතය :- මෙවර අවුරුදු උදාව ඔබට යහපත් වේ. උවමනා එපාකම්වලට වියපැහැදම් කිරීමට හැකි වාතාවරණයක් ඇති කෙරේ.සහෝදර සහෝදරියන්ගෙන් උදවු උපකාර ලැබෙන සුබ වසරකි. ගුණගරුක බව වර්ධනය වේ.තම සහජ දක්ෂතාවන්ගෙන් සහ තමන්ට උරුම හිමිකම්වලින් ආදායම් ලැබේ. ඒවා පිළිබඳ උනන්දුවක් ඇතිවේ.පුණ්‍ය කටයුතු සිදුකරයි. වන්දනාමාන කරගැනීමේ අවස්ථා එළඹේ.විදෙස් ගමන් බලාපොරොත්තුව සිටි අයට ඒ පිළිබඳ සුබවාදී ලිපි ලේඛන ලැබෙන්නට පුළුවන.ඔබගේ වචනයකට අමනාපව යම් කෙනෙක් සිටියානම් අවුරුදු උදාවෙන් පසු ඒ අය යළි හිතවත් වේ.යුග ජීවිතය සතුටින් ගත කරයි.
රැකියාව :- ඔබට පසුගිය කාලසීමාවේ යම් කිසි ධනෝපායන මාර්ගයක් තිබුණත් ඉතිරියක් කර ගැනීමට නොලැබුණේ ද මෙවර අවුරුද්දෙන් පසු ඔබට ඒ සඳහා ඉඩකඩ ලැබේවි.
ස්වයංරැකියා දියුණු කර ගැනීමත්, කෘෂිකාර්මික කටයුතුවලට නැඹුරු වීමටත් ඔබට හැකියාව පවතී.
ඔබ තුළ පවත්නා ග්‍රහබල අනුව එවැනි අංශවල දියුණුවක් පෙන්නුම් කරයි.
අධ්‍යාපනය :- ලග්නගත ගුරුගේ දෘෂ්ටිය විද්‍යාස්ථානවලට යොමු වීම නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්නුම් කරයි.
සෞඛ්‍යය :- උෂ්ණාධික රෝග, ඇස් රෝග සහ උගුර ආශ්රිත අසනීප මතුවිය හැකියි.
සුබ අංක 3, 4, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා
ඔබගේ අපල අවම කර ගැනීමට නිවසෙහි තුන්වරු පිරිතක් කියන්න. හීල් දානයක් පිරිනමා මියගිය ඥාතීන්ට පැන් වඩා පින් අනුමෝදන් කරන්න.
ඉදිරිපත් කිරීම
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)
0 Comments